දියුණු රටවල නිරන්තර පරීක්ෂාවට ලක් වන ඇෆ්ලාටොක්සින් යනු

ඇෆ්ලාටොක්සින් යනු? පිළිකාකාරකයකි. දියුණු රටවල ආහාර ඇෆ්ලාටොක්සින් අඩංගු දැයි නිරන්තර පරීක්ෂාවට ලක් කරයි.

ඇෆ්ලාටොක්සින් යනු ඇතැම් ආහාර වර්ගවල ඇතිවන ඇස්පර්ගිලස් නැමැති (Aspergillus flavus, Aspergillus parasiticus) පුස් වර්ගවලින් නිපදවෙන පිළිකාකාරකයකි. ඇෆ්ලාටොක්සින් නිපදවන දිලීර වගා භූමියේ දී මෙන්ම අස්වැන්න හා ගබඩා කිරීමේදී ද බෝග මත ඇතිවේ.

මෙය කොප්පරා, බඩ ඉරිඟු (ඉරිඟු), රටකජු, කපු බීජ වැනි කෘෂිකාර්මික භෝගවල දක්නට ලැබෙන මෙම දිලීර ලෝකයේ උණුසුම් හා තෙතමනය සහිත ප්‍රදේශවල බහුලව වාර්තා වේ.

මෙම දිලීර ආසාදිත ශාකවල බෝග (රටකජු වැනි) ආහාරයට ගැනීමෙන් හෝ දිලීර ආසාදිත ආහාර අනුභව කළ සතුන්ගෙන් මස් හෝ කිරි නිෂ්පාදන අනුභව කිරීමෙන් මිනිසුන් ඇෆ්ලාටොක්සින්වලට නිරාවරණය විය හැකිය. තවද මෙවැනි දූෂිත භෝග හා ආහාර පරිහරණය කිරීමේදී හා සැකසීමේදී ජනනය වන දූවිලි ආශ්වාස කිරීමෙන් ගොවීන් සහ අනෙකුත් කෘෂිකාර්මික සේවකයින් ද මෙම ඇෆ්ලාටොක්සින්වලට නිරාවරණය විය හැකිය.

ඇෆ්ලාටොක්සින්වලට දීර්ඝ කාලීනව නිරාවරණය වීමෙන් ඉතා දරුණු රෝගාබාද රැසක් ඇතිවීමේ අවදානම වැඩි කරන බව සොයා ගෙන ඇත. එසේම ඇෆ්ලාටොක්සින් සියලුම ඉන්ද්‍රියයන්ට බලපායි. විශේෂයෙන් අක්මාව සහ වකුගඩුවලට පිළිකා ඇතිකරන අතර වෙනත් වර්ගවල පිළිකා සමඟ ද මෙය සම්බන්ධ වන බව සොයා ගෙන තිබේ.

තවද දත්ත තවම තහවුරු කර නොතිබුණ ද දරුවන්ගේ උපත් ආබාධ වැඩි කිරීමට ද ඉඩ ඇති බව වාර්තාවේ. එසේම දරුවන්ගේ වර්ධනය අඩාල වීමට ද දායකවිය හැකිය.

විශේෂයෙන්ම ඇෆ්ලාටොක්සින් ප්‍රතිශක්තිය අඩු කිරීමට හේතු වන අතර එම නිසා බෝවන රෝග කෙරෙහි දක්වන ප්‍රතිරෝධය අඩු විය හැකිය. උදාහරණ ලෙස ක්ෂය රෝගය වැනි රෝග වැළඳීමේ හැකියාව වැඩ කරයි.

තත්වය සහතික කළ ප්‍රධාන වාණිජ වෙළඳ නාම සහිත භාණ්ඩ මිල දී ගැනීමෙන් හා පුස් බැඳුනු හෝ පරණ වූ ආහාර පරිභෝජනයට නොගැනීමෙන් ඇෆ්ලාටොක්සින් නිරාවරණය අඩු කර ගත හැකිය.

අමෙරිකා එක්සත් ජනපදය වැනි දියුණු රටවල ආහාර ඇෆ්ලාටොක්සින් අඩංගු දැයි නිරන්තර පරීක්ෂාවට ලක් කරයි. නමුත් සමහර සංවර්ධනය වෙමින් පවතින රටවල මෙහි බලපෑම් දක්නට ලැබෙන බව අමෙරිකානු ජාතික පිළිකා ආයතනය සඳහන් කරයි.

1. අක්මාවේ පිළිකා විරල ය. ලංකාවේ අක්මාවේ පිළිකා ජනගහනයේ ලක්ෂයකට වසරකට 4.5- 5 ක් පමණ වාර්තා වේ.

2. අක්මාවේ පිළිකා ලෝකයේ ජනගහනයේ ලක්ෂයට වසරට 9 ක් පමණ වාර්තා වේ.

3. අක්මාවේ පිළිකා කාලයත් සමග බටහිර රටවල් වල වැඩි වන හා පෙරදිග රටවල අඩුවන ප්රවනතාවක් පෙන්වයි.

4. අක්මාවේ පිළිකා ලංකාවේ කාලයත් සමග සුළු වශයෙන් වැඩිවන ප්රවනතාවක් පෙන්වයි.

5. අක්මාවේ පිළිකා සුව කිරීමට අපහසුය, කිමෝ හා විකිරණ ප්රතිකාර අක්මාවේ පිලික සදහා වැඩ නොකරයි.

6. අක්මාවේ පිළිකා රෝග නිර්ණය පහසුය රෝග ලක්ෂණ පැහැදිලිය.

7. අක්මාවේ පිළිකා වලින් එකවර මිය නොයයි – එනිසා බහුතරය මිය යන්නේ රෝග නිර්නයකින් පසුව ය, දත්ත වලට ඇතුලත් වේ.

8. අක්මාවේ පිළිකා සදහා මුලිකම හේතුව අධික මත්පැන් පානය හා වයිරස් වලින් වැළදෙන හෙපටයිටිස් රෝගය නිසා ඇතිවන සිරෝසිස් තත්වයයි.

9. සිරෝසිස් තත්වයක් නොමැති අක්මා වල පිලික හටගැනීම විරල ය.

10. සිරෝසිස් රෝගය ඇතිවීම සදහා ද ඇෆ්ලාටොක්සින් යම් ප්රමාණයකට හේතු වේ.

පිළිකා කාරක ගැන මගේ සත දෙක

1. ලංකාවේ පිරිමින් අතර බහුල ම පිළිකාව මුඛ පිළිකාය – ලක්ෂයට වසරට පිළිකා 28 ක් වාර්තා වේ.

2. මුඛ හා උගුරේ පිළිකා වලට ප්රධාන ම හේතුව දුම්කොළ, පුවක් සැපීම යි.

3. පෙනහළු පිළිකා ද ලංකාවේ සුලබ ය – ලක්ෂයට වසරට පිළිකා 13 ක් වාර්තා වේ

4. ලංකාවේ පිළිකා වලින් විශාල ම ගණනකට හේතුව දුම්කොළ, පුවක්, දුම් පානය හා මත්පැන් පානයයි..මේ සියල්ල නොම්මර එකේ පිළිකා කාරක ය.

5. මෙකි පිළිකා කාරක ටික ඕනෑම නගරයක, බස් නැවතුමක, කඩයක පහසුවෙන් ලබාගත හැක.

අපේ උදවිය ඇෆ්ලාටොක්සින් දෙස බලන ඇසින් ම පාරේ ඇති බුලත් විටි-සිගරට් කඩය, මත්පැන් හල දෙසද බලනවා නම් අගනේය – ඒවා ද මිනී මරන්නේ ය. වෙනස වන්නේ පිසින තෙල් අත්යාවශ්ය වීමත්, දුම්කොළ-මත්පැන් අත්යාවශ්ය නොවීමත් ය.

  • පිළිකා රෝග පිළිබඳ විශේෂඥ වෛද්ය ලක්ෂාන් අබේනායක

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.