දුමින්ද කියන්නේ වැල යන අතට මැස්ස ගහන කෙනෙක් නෙමෙයි

තරුණ නායකයෙකු ලෙස කැපී පෙනුණ චරිතයකි, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ දුමින්ද දිසානායක මහතා. දේශපාලන පවුලකට උරුමකම් දාව ඉපදුන ඔහු අමාත්‍යධුර මෙන්ම විවිධ තානාන්තර හොබවමින් කාලෙන් කාලෙට විවධ ජනප්‍රිය කතා මවන්නෙකු වෙමින්ද කාලයක් නිහඬව ද සිටියේය. විවිධ හැලහැප්පීම් මැද මෙතෙක් ආ ඔහුගේම ගමනක් ඇත. එමෙන්ම ඔහු ඉදිරියට ද ගෙන යන දේශපාලන ප්‍රතිපතින් ඇත. පාට පක්‍ෂ වලට එහා ගිහිං සිදුකළ කතාවකි මේ.

අශන්ති වරුනසුරිය

මේ රට හදන්න ඕන කියන දේ ඔබ හැමදාම කිවුවත් සාමාන්‍ය ජනතාව ලෙස අපට රට එකම තැනක වගේ හැඟෙනවා ?
මෙරට හදන්න ඕන කියන සංකල්පය, වෛරී දේශපාලනයට තිත තබමු කියන එක, එකට එකතු වෙමු කියන සංකල්පය මෙරට දේශපාලනයේ ආරම්භ වුණේ 2015. අපේ පරම්පරාව බලාපොරොත්තු වුණ වෙනසක්.

නමුත් එය සාර්ථක වුනේ නැහැ ?
ශ්‍රීලනිපය ශක්තිමත් කරන්න තමයි එදා ඉදලාම අපි වැඩ කලේ. කොහොමත් මම විශ්වාස කරන දෙයක් තමයි අසාර්ථක වීම් ඊළඟ සාර්ථකත්වය කියන දේ. අත්දැකීමක් වැදගත්. අසාර්ථකවීම් තුලින් සාර්ථකත්වය හොයන්න පුළුවන්. අපේ පාක්ෂිකයා ආරක්ෂා කර ගනිමින් රට වෙනුවෙන් අපි වැඩ කරනවා. 1952 ශ්‍රීලනිපය හදනකොට තිබ්බ ප්‍රශ්න නෙමෙයි දැන් තියෙන්නේ. ශ්‍රීලනිපය මූලික අරමුණු ඒ කියන්නේ බණ්ඩාරනායක ප්‍රතිපත්ති රකින ගමන් වර්තමානයට ගැලපෙන වෙනස් කරමින් කටයුතු කරනවා.

පාර්ලිමේන්තුවට මිනිස්සු වෛර කරනවා. තරුණ නායකයෙක් විදියට මේ තත්වය ඔබ දකින්නේ කොහොමද ?
පසුගිය කාලේ පිළිකුල් සහගත සිදුවීම් වුණා. එකාලේදීත් මම ඒවාට සම්බන්ද වුණේ නැහැ. අතීතය ගත්තම පාර්ලිමේන්තුවේ සිදුවුණේ හරබර සටන්, හරබර දේශණ. තරුණයෙක් විදියට මම සිදුවූ අශිලාචාර සිදුවීම් එදත් අදත් හෙටත් අනුමත කරන්නෙම නැහැ. ඒවා හදන්න ඒකට සහභාගී වෙලා බැහැ. මමත් විරෝධතා වලට සම්බන්ද වෙලා තියෙනව. නමුත් ප්‍රතිපත්තියක් තුල ඉදලා. සමහරු පුද්ගලික ජනප්‍රියතාව වෙනුවෙන් එවන් දේ කරනවා.ඉතිං මම ජනතාවගෙන් ඉල්ලනවා මේවා නිසා දේශපාලනය, දේශපාලකයෝ,පක්ෂ එපා කර ගන්න එපා, තේරුම් අරන් හරිදේ වෙනුවෙන් පෙනී ඉන්න කියලා…

ඔබ එදා ඉදලා කතා කළ සිස්ටම් චේන්ජ් එක කරන්නේ කොහොමද ?
සැලසුමක් තිබිය යුතුයි. ඒවගේම අදාල අයගෙන් සේවය හරියට ගන්නත් සේවය කරන්නේ නැත්නම් ඒ වෙනුවෙත් තීරණ ගන්නත් පුළුවන් වෙන්න ඕන. මේ දේවල් සිදු කරගෙන යනවා. තරුණ පිරිස් එදා ඉදලා කතා කළේ සිස්ටම් චේන්ජ් එකක් ගැන. කොහොමත් කරන්න බැහැ කියලා නැහැ. අපේ පරම්පරාව මේක කරන්න ඕන. වැල යන පැත්තට මැස්ස ගහනවා හෝ හුලං හමන පැත්තට හමනවා එහෙමත් නැත්නම් රට යන අතට යනවා කියලා ඉන්න එක නෙමයි හරි. දුමින්ද දිසානායක කියන්නේ එදා ඉදලා වැල යන අතට මැස්ස ගහන කෙනෙක් නෙමෙයි. අපිට වැල යවන්න ඕන පැත්තට මැස්ස ගහන්න ඕන.

මට කොතෙක් නොයෙක් විවේචන ආවත් මම මගේ මතේ ඉන්න කෙනෙක්. ඒක හැමදාටම එහෙමයි. අපි මේ වෙනසට මුල පිරුවොත් ඉදිරියත් වෙනස් වෙයි. අට හැමෝම හිතුවොත් වැල යන අතට මැස්ස ගහන්න ඕන කියලා කවදාවත් මේක වෙනස් කරන්න බැහැ. මම හොද දේට ඒ විදියට ඉන්නවා වගේම නරක දෙයක් වෙනකොටත් ඒකට විරුද්ධව අපේ මතය දරමින් කටයුතු කරනවා.

බොහෝ අයට එවන් අදහස් නැහැ. ඕක තනියම කළ හැකිද ?
මිනිස්සු තනියම වුණත් ලෝකයේ බොහෝ දේවල් වෙනස් කරලා තියෙනවා. නව සොයා ගැනීම් බලන්න, ගොඩක් ඒවා එක්කෙනෙක් හොයා ගත්ත දේවල්. ජනප්‍රිය පැත්ත නැතුව අපි ඉන්නේ හරි පැත්තේ නිසා එන අභියෝග ගෙන ඉදිරියට යා යුතුයි.

පක්ෂ තුල තරුණ නායකයින්ට ඉදිරියක් තියෙනවද ?
ඔව් බොහෝ පක්ෂ වල දැන් ඒ ඉඩකඩ හැදිලා. පක්‍ෂ ආරම්භ කරනකොට හිටපු, ඒවගේම ඒ පදනමෙන් වෙනස් වෙන්න බැරි කොටසකුත් ඉන්නවා. හැබැයි අපි තුන් වෙනි පරම්පරාව විදියට අපිට වෙනස් වෙලා රට ගැන හිතන්න බැරි කමක් නැහැ. සමහරු එදා පෙරළි අද කතා කරනවා. ඒවා වෙලා ඉවරයි අද එවන් පෙරළි කතා කරලා වැඩක් නැහැ. අපි එදා පදනම මුල් කරගෙන ඒ පදනමට බොහෝ දේ එකතු කරගෙන නව යුගයේ නව තාක්ෂණයන්, නව ලෝකය එක්ක, අපේ දරුවන්ට විප්ලවයෙන් තොර හොද රටක් ලබා දෙන්න කටයුතු කළ යුතුයි. සිතුම් පැතුම් නෙමෙයි වැදගත් ඒවා යථාර්තයක් කර ගන්න අවශ්‍ය දේවලුයි කරන්න ඕන.

ගෙවුණු කාලය දිහා හැරිලා බලනකොට ඔබට රාජපක්ෂලා සමඟ වෛරයක් තිබ්බද ?
දේශපාලන විවේචන තිබ්බට වෛරයක් නම් කවදාවත් නැහැ. පුතාලාත් මගේ හිතවතුන්.

තරුණ නායකයෙක් විදිහට මිනිස්සුන්ගේ ආර්ථික ප්‍රශ්ණ කොහොමද දකින්නේ. අනුරාධපුරෙත් ප්‍රශ්ණ රැසක් තියෙනවා ?
අපේ රටේ නොකා නොබී නම් කෙනෙක් මැරිලා නැහැ. ඒක මම ආඩම්බරෙන් කියන්න ඕන. තව කෙනෙක්ට කන්න නැත්නම් තව කෙනෙක් දෙන්න හරි ඉදිරිපත් වෙනවා. මතකද එක කාලයක් මුරුංග කොළ එක්ක විතරක් කාලා කියලා කතාවක් ගියා. එකත් ඒ කාලේ හොයනකොට එයා කැමැත්තෙන් ආස නිසා කාපු එකක්. ඒක වැරදියට ලියලා.

ඉතිං රට වේගවත්ව සංවර්ධනය වෙනවා. හිටපු ආණ්ඩු අරයා මෙයා වැඩක් නැහැ සියල්ලට සැලසුම් හදාගෙන යන ක්‍රමය ඉදලා ජනතාවගේ ප්‍රශ්ණ විසදගෙන යනවා. රට වෙනස් වේවි. පක්ෂ පාට වල එළබගෙන නොසිට යථාර්තයට මුහුණ දිය යුතුයි. මේවාට කාටවත් බැනලා වැඩක් නැහැ. සාධක බලලා උත්තර හොයන්න.

කිසියම් දෙයක් නිසා ඔබ නිහඬ කළ හැකි චරිතයක් ද ?
කාටවත්ම බැහැ. එහෙම කල හැකි කිහිපදෙනයි මේ ලෝකෙම ඉන්නේ. අම්මා තාත්තා. තාත්තා දැන් නැහැ. ඊළඟට දුවට. එපමණයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.