ඉන්දීය ධිවරයින්ට මෙරට මසුන් අල්ලන්න නව බලපත‍්‍ර ක‍්‍රමයක්

ඉන්දීය ධීවරයන්ට සතියකට වරක් මෙරට මුහුදු සීමාවේ මසුන් ඇල්ලීමට බලපත්‍රයක් ලබා දීම ගැන සාකච්ඡා අරඹා ඇතැයි ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා සඳහන් කරයි.

අධික මුදලක් අය කරමින් මෙම බලපත්‍රය නිකුත් කරන බවත් ඉන්දු ලංකා ධීවර ගැටළුවට සැළකියුතු විසඳුමක් ඉන් ලැබෙනු ඇතැයි ඇමතිවරයා පවසයි.

ඇමැතිවරයා මේ බව සඳහන් කළේ ඉන්දීය ධීවරයන්ට මෙරට මුහුදේ මසුන් ඇල්ලීමට බලපත්‍රයක් ලබා දෙන බවට පළවූ වාර්තා ගැන කරුණු පැහැදිලි කරමිනි.

මේ සම්බන්ධයෙන් රාජ තාන්ත්‍රික මට්ටමින් සාකච්ඡා වී ඇති බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැතැයි ද පැවසූ ඔහු ඉන්දීය ධීවරයන් අනවසරයෙන් මෙරට මුහුදු සීමාවට ඇතුළුවීම වැළැක්වීමට අවශ්‍ය පියවර ඉදිරියේ දී ගන්නා බවද සඳහන් කළේය.

මේ අතර ශ්‍රී ලංකා නාවික හමුදාවේ මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා ප්‍රකාශ කළේ නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවේ මුහුදු තීරයට ඇතුළු වන ඕනෑම විදේශීය යාත්‍රාවක් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගන්නා බවයි.

ඉන්දීය ධීවරයින් අත්අඩංගුවට ගැනීම අත්හිටුවීමට රජය ගෙන ඇති ප්‍රතිපත්තිමය තීරණයක් පිළිබඳව නාවික හමුදාවට දැනුම් දී තිබේදැයි කළ විමසීමේදී නාවික හමුදා ප්‍රකාශකවරයා ප්‍රකාශ කළේ ඔවුන්ට එවැනි දැනුම් දීමක් සිදුකර නොමැති බවත්ය.

ශ්‍රී ලංකා මුහුදේ මසුන් ඇල්ලීමේ නිරතව සිටී ඉන්දීය ධිවරයින් 54 දෙනෙකු පසුගියදා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික ගැටළු කිහිපයක්ම මතු විය.

ඒ අනුව නාවික හමුදාව විසින් පසුගිය දා එම ධීවරයින් සියල්ලම නිදහස් කිරීමට පියවර ගනු ලැබිය.

“ශ්‍රී ලංකා මුහුදු සීමාවේ විදේශීය ධීවරයින් මසුන් මැරීම දේශීය ධීවර ප්‍රජාවට ඇති බලපෑම සහ ශ්‍රී ලංකාවේ ධීවර සම්පත්වල තිරසාරභාවය පිළිබඳව සලකා බැලූ නාවික හමුදාව ශ්‍රී ලංකාවේ නීතිවිරෝධී ධීවර කටයුතු මැඩපැවැත්වීම සඳහා නිරන්තර මුර සංචාර මේ වනවිටත් වැඩි කර ඇත.

කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පසුව නිවේදනයක් නිකුත් කරමින් කියා රජයට දැනුම් දී තිබුණේ පසුගිය (24) දින රාත්‍රියේ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඉන්දියානු ධීවරයින් 54 දෙනෙකු සහ බෝට්ටු පහක් අත්අඩංගුවට ගැනීම පිළිබඳව සලකා බලන ලෙසයි.

“ඉන්දියානු ධීවරයින් සම්බන්ධ ගැටළු මානුෂීය ආකාරයකින් විසඳා ගත යුතු බව නැවත අවධාරණය කරන බව ” මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය රජයට වැඩිදුරටත් දැනුම් දී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.