උපාධිධාරීන් 50ක් වැව්ව මිනුම් කටයුතු සිදු කිරීමට යොදවයි

මැනුම් කටයුතු සිදු කර නොමැති වැව් කඩිනමින් මැනුම් කටයුතු සිදු කිරීමට විශේෂ කැබිනට් පත්‍රිකාවකින් ජෝන් කොතලාවල විශ්ව විද්‍යාලයත්,සබරගමු විශ්වවිද්‍යාලයත් අධ්‍යාපනය හදාරා ඇති උපාධිධාරීන් පනස් දෙනෙකු තෝරා ඔවුන්ව මිනින්දෝරු දෙපාර්තමේන්තුව හරහා අමාත්‍යංශයට අනුයුක්ත කර ගනිමින් මෙම වැව් මිනුම් කටයුතු කර මායිම් ගල් දමා නියමානුකූලව වැඩ කටයුතු සිදු කිරීම අප්‍රේල් මස සිට ආරම්භ කිරීමට කටයුතු සූදානම් කරමින් පවතින බව අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා පැවසීය.

පසුගිය ජනවාරි මාසයේ සිට මේ දක්වා වැව් 836 ක වැඩ ආරම්භ කර ඇත. කඩවල එල්ලංගා පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීම තුළින් ප්‍රදේශීය පවුල් 600 කට අධික ප්‍රමාණයකට කෘෂිකර්මාන්තය සඳහා වාරි ජලය සැපයෙන අතර අක්කර 400 කට අධික ප්‍රමාණයකට වගා කිරීම සඳහා ඉඩ ප්‍රස්ථාව හිමිවේ. මේ සඳහා ඇස්තමේන්තු ගත මුදල රුපියල් මිලියන 290කි.

ප්‍රදේශීය ජනතාවගේ පානීය ජල අවශ්‍යතාවය සඳහා “තලා කොළ වැව” ප්‍රතිසංස්කරණය කටයුතු කිරිම තුළින් පවුල් 400 කට අධික ප්‍රමාණයකට පානීය ජල ගැටලුව විසඳෙනු ලබන අතර ඒ සඳහා ඇස්තමේන්තු ගත මුදල රුපියල් මිලියන 52.8 වේ. එය මෙම වර්ෂය තුළ පවුල් 1000 කට අධික ප්‍රමාණයකට ව්‍යාප්ත කිරීමට කටයුතු සූදානම් කර ඇත.

වැඩි දුරටත් අදහස් දැක්වූ අනුරාධ මහතා,

මුළු ලෝකෙම පුදුම කරන ලෝක උරුමයක් බවට අපට තිබෙන ලොකුම වාසනාවක් තමයි මේ එල්ලංගා පද්ධතිය. ලංකාවේ තිබෙන එල්ලංගා පද්ධතිය ලෝකේ කොහෙවත් දකින්නට නැහැ. හරිත දේශගුණික අරමුදලේ ආධාරයක් හැටියට කෙරෙන මෙම ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීමට හැකි වීම පිළිබඳ මා ඉතා සතුටට පත් වෙනවා.

ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමතිතුමා ප්‍රධාන සියලු දෙනාගේ ඉල්ලීම් වූයේ මෙය හැකි ඉක්මනින් ජනතාවට ප්‍රයෝජනයක් ගත හැකි ආකාරයට පත් කර දෙන ලෙසයි. හරිත දේශගුණික අරමුදල වශයෙන් ජනතාවට වැඩදායී ලෙස මෙය ක්‍රියාත්මක වුවත් අප රජයක් විදිහටත් මෙයට විශේෂ දායකත්වයක් දක්වනවා.

රජයක් විදිහට ජනතාවට අවශ්‍ය පහසුකම් ලබාදීම අපේ වගකීමක්. අපි මේ සෑම වැවක්ම කරන්නේ විධිමත් වැඩපිළිවෙළක් යටතේ.සෑම වැවකටම නිර්ණායක සකස් කරලයි එහි වැඩ ආරම්භ කරන්නේ. ඒ වගේම තමයි අප අමාත්‍යාංශය වටා ඇති සියලු ආයතන වල සහයෝගය අරගෙන තමයි මේ වැව්වල ප්‍රතිසංස්කරණය කටයුතු අපි කරගෙන යන්නේ.

අපේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාට විශාල ශක්තියක් වුණු මේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජනතාව ගැන අපිටත් ලොකු වගකීමක් තිබෙනවා.
වැව් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා වැඩිම මුදලක් වෙන්කරලා තියෙන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයට.ඒ වගේම තමයි වැඩිම වැව් ප්‍රමාණයක් පිහිටල තිබෙන්නේත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ. මේ වර්ෂය අවසන් වන විට වාරි සෞභාග්‍යය යටතේ ආරම්භ කරන්න යෝජිත සියලූ වැව්වල ප්‍රතිසංස්කරණය කටයුතු ආරම්භ කිරීම තමයි අපේ එකම ඉලක්කය.

මෙම අවස්ථාව සඳහා රාජ්‍යය නිලධාරීන් දේශපාලන නායකයින් ඇතූළු ප්‍රදේශයේ ජනතාව විශාල ප්‍රමාණයක් සහභාගී වී සිටියහ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රකාරව “වාරි සෞභාග්‍යය වැඩසටහන” යටතේ දේශගුණක විපර්යාසයන්ට අනුහුරුවීම සඳහා වූ ඒකාබද්ධ ජල කළමනාකරණ ව්‍යාපෘතිය මගින් නිර්මාණය වූ “වැව් ගම් පුබුදුව” ව්‍යාපෘතිය තලා කොළ වැව පානීය ජල සම්පාදන ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීම සහ කඩවල එල්ලංගා පද්ධතියේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීම අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ ආරාධනාවෙන් අනුරාධ ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.