ඉන්දික ශ්‍රී අරවින්ද
කොවිඩ්-19 වෛරසය පාලනය සඳහා චීනය විසින් නිපදවූ චීන “සිනොෆාර්ම්” එන්නතෙහි වගකීම සෞඛ්‍ය අමාත්‍යංශය විසින් භාර ගන්නේ නම් පමණක් එන්නත් කරන වැඩසටහනට එක්වන බව මහජන සෞඛ්‍ය පරිකෂකවරුන්ගේ සංගමය පවසයි.
එම සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසුරිය මහතා Colombo Gazette වෙත ප්‍රකාශ කළේ ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයේ තාක්ෂණික කමිටුවේ මාර්ගෝපදේශ ඇතුළත් චක්‍ර ලේඛයක් නිකුත් කළ යුතු බවයි.
මෙම චීන එන්නත සඳහා මේ වන විටත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) නිසි අවසරය ලැබී නොමැති නිසා එය එන්නත් කිරීමෙන් අනතුරුව යම් අතුරු ආබාධයක් ඇති වුවහොත් එහි වගකීම සෞඛ්‍ය අංශය භාරගත යුතු වෙන බව ඔහු පවසයි.
කිසිම අවස්ථාවක මෙම එන්නත බලහත්කාරයෙන් එන්නත් කිරීමට සුදානමක් නැති බවත් චීන ජාතිකයින් හෝ ශ්‍රී ලාංකිකයින් හෝ කවුරු උනත් ඔවුන්ගේ කැමැත්ත පරිදි පමණක් එන්නත් කෙරෙන බව බාලසුරිය මහතා පවසයි.
මෙයට පෙරදී ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) සඳහන් කළේ කොවිඩ් පාලනය කිරීම සඳහා නිපදවන එන්නත්හි නිසි ආරක්ෂාව තහවුරු කිරීමට නම් අවම වශයෙන් වසර 3ක් හෝ ගත වෙන බවත් මෙම චීන එන්නතට වසරක්වත් ගත වී නොමැති නිසා යම් අපැහැදිලි තත්වයක් ඇති බව බාලසුරිය මහතා අවධාරණය කරයි.
කොවිඩ් වෛරසය පාලනය කිරීමේ වැඩසටහනේදී මතුවන ගැටළු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා කොවිඩ් වැළක්වීමේ ක්‍රියාන්විත මෙහෙයුම් බළකායට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ නියෝජනයක් ලබා දෙන ලෙස කිහිප අවස්ථාවකදීම ඉල්ලීම් සිදු කළත් ඒ සඳහා අවස්ථාවක් ලබා නොදුන් බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසුරිය මහතා වැඩිදුරටත් සඳහන් කරයි.
මේ අතර විදෙස් මාධ්‍ය විසින් අන්තර්ජාතික වෛද්‍ය විද්‍යා කවුන්සිලය උපුටා දක්වමින් සඳහන් කරන්නේ මෙම චීන “සිනොෆාර්ම්” එනතෙහි අතුරු අබාධ 73ක් හඳුනාගෙන ඇති බවයි.