පොලිස් නිලධාරීන් 8කට, තලාව ප්‍රාදේශීය සභාවේ 10කට කෝවිඩ්

තිස්සමහාරාම පොලීසියේ තවත් නිලධාරින් 8 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ. එම පොලීසියේ දුරකථන ක්‍රියාකරුවා ලෙස කටයුතු කළ නිලධාරියා මීට දින 3කට පෙර ආසාදිතයෙකු ලෙස හඳුනා ගෙන ඇති බව පොලිස් අංශය පවසයි.

ඔහුගේ ආශ්‍රිතයින් වු එම නිලධාරින් අඛණ්ඩව රාජකාරියේ නිරතව සිට ඇති අතර හදිසි අසනීප තත්ත්වයක් මත රෝහල්ගත කිරීමෙන් පසු එම නිලධාරින් 8 දෙනා කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබුණි.

එමෙන්ම අනුරාධපුර තලාව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා, මන්ත්‍රීවරුන් දෙදෙනෙකු, සභාවේ ලේකම්වරයා සහ ඔවුන්ගේ පවුල්වල සමාජිකයින් ඇතුළු 06 දෙනෙකු හට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන ඇති බව තඹුත්තේගම මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්.එම්. දිසානායක මහතා පැවසුවේය.

මේ අතර යාපනය නගරය සහ ඒ ආශ්‍රීත ප්‍රදේශවලින් වාර්තා වූ කොවිඩ් – 19 ආසාදිත පුද්ගලයින් සංඛ්‍යාව 93 දෙනෙකු දක්වා ඉහළගොස් තිබේ. ඒ හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට සංචරණ සීමා පැනවීමට පියවරගෙන ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසීය. කෝවිඩ් අසාදිතයින්ගේ ගණන ඉහළ යාමෙන් පසු දින 10ක් මුළුල්ලේ යාපනය ප්‍රදේශ කිහිපයක් හුදකලා වී ඇත.

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 166 දෙනෙකු අද (26) දිනයේත් හඳුනාගෙන තිබේ. ඒ අනුව මෙරටදී හඳුනාගත් කොවිඩ් ආසාදිත සමස්ත රෝගීන් සංඛ්‍යාව 91,455ක් දක්වා ඉහළගොස් ඇත.

කොවිඩ් අවදානම තවමත් පහව ගොස් නැති බැවින් මෙවර සිංහල හින්දු අලුත් අවුරුද්දත් සෞක්‍ය මාර්ගෝපදේශවලට අනුකුලව සමරන ලෙසටද පොලිසිය මතක් කරයි. ඒ අනුව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පැවසුවේ ඒ සඳහා මාර්ගෝපදේශන නිකුත් කිරීමට නියමිත බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.