දේශපාලන වාසි ලබන මාධ්‍ය අසත්‍ය තොරතුරු ඉදිරිපත් කරන බව අමරවීර කියයි

පවතින දේශපාලන අරගලය හේතුකොටගෙන විවිධ දේශපාලන පක්ෂ, දේශපාලන වාසි ලබන මාධ්‍ය ඉදිරිපත් කරන අසත්‍ය තොරතුරු නිසාවෙන් පරිසරවේදීන්, තරුණ පරම්පරාව සහ නිවැරදි දේ රටට ලබාදෙන මාධ්‍ය පිරිස් අපහසුතාවයට පත්වී ඇති බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

මේ පිළිබදව වැඩි දුර අදහස් දැක්වූ අමාත්‍යවරයා ,

කෙසේ වුවත් ශ්‍රී ලංකාව තුල මේ වනවිට යම්තාක් දුරක වන විනාශයක් සිදුවන බව කණගාටුවෙන් වුවද මම පිළිගනිමි. එවැනි වන විනාශයන් පිළිබඳව නිවැරදි තොරතුරු ලබාදෙන ඔබ සියලුදෙනා වෙනුවෙනුත් පරිසරය වෙනුවෙනුත් දිවි පරදුවට තබා සටන් කිරීමට මම කැමැත්තෙමි. සාමූහිකව සිදුකරන මේ සටනට නිසි මඟපෙන්වන දේශ හිතෛෂී ශ්‍රී ලාංකික පිරිසක් මට හමුවී ඇත.ඉදිරියටත් මා සමඟ එක්ව පරිසරය බේරාගැනීමට ඔවුන්ගේ සහය අපේක්ෂා කරමි. පරිසරයට ආදරය කරන එවන් පිරිස් නිසා අප ලැබූ ජයග්‍රහණ බොහෝය.

මුතුරාජවෙල පරිසර පද්ධතිය පිළිබඳ ගැටලුවේදී ඒ සම්බන්ධයෙන් සොයාබැලීමට මම අමාත්‍ය ලේකම්තුමන් සමඟ ප්‍රථමයෙන් එහි ගියෙමි. එයට අවශ්‍ය පියවර ගැනීම්,ගැටලු වලට විසඳුම් සෙවීම්,ආරක්ෂිත ක්‍රමවේද සැකසීම් පිළිබඳ ජනාධිපතිතුමන් දැනුවත් කිරීම මා අදටත් නොපිරිහෙලා ඉටුකරන කාර්යයකි.සිංහරාජයට යාබද බෝටියතැන්න ප්‍රදේශයේ උද්ගතව ඇති ගැටලුව වසර ගණනක් මුළුල්ලේ සිදුවෙමින් පවතින තවත් කණගාටුදායක සිද්ධියකි.සිංහරාජයට යාබදව විනාශයට ලක්ව ඇති බෝටියතැන්න ප්‍රදේශය සිංහරාජයට ලබාගැනීමට අවශ්‍ය පියවර පිළිබඳව මේ වනවිටත් මා සාකච්ඡා කරන අතර බෝටියතැන්නට සිදුව ඇති විපත මා පරිසර අමාත්‍ය වීමටත් පෙර සිට නිලධාරීන්ගේ නිසි අවධානය යොමු නොවීම නිසා සිදුවූවක් බව පැවසීමට කැමැත්තෙමි. එනමුත් ඒ සියල්ල නොසලකා බෝටියතැන්න අත්පත්කර ගැනීමට අමාත්‍යංශ කමිටු සාකච්ඡා හා අන්තර් කමිටු ප්‍රශ්න කිරීම් සිදුවේ.

එම ප්‍රශ්නකිරීම් වලදී සොයාගත් මෙහි ඇති පෞද්ගලික හා රාජ්‍ය ඉඩම් ඔප්පු රජය යටතට ගෙන සිංහරාජයට අත්පත්කර ගනිමින් පවතින බව පැවසිය යුතුය. එහිදී ඉඩම් අයිතීන් පිළිබඳ ගැටලුවක් මතු වුවහොත් අවශ්‍ය නිසි පියවර ගැනීමට කටයුතු කිරීමට බලාපොරොත්තු වෙමි.මෙහිදී පරිසර අමාත්‍යාංශයේ දැක්ම වනුයේ මෙම කොටස රජයට පවරාගෙන වනෝද්‍යානයක් ලෙස ප්‍රකාශයට පත්කර සිංහරාජ වනාන්තරය ලෝක උරුම වස්තුවක් ලෙස ආරක්ෂා කිරීමය.

මෙවන් අවස්ථාවක මෙහි බරපතල බව පිළිබඳව කිසිඳු තැකීමක් නොකර අසත්‍ය ප්‍රචාරණයේ යෙදෙන සියලු පුද්ගලයින්ගෙන් මා ඉල්ලාසිටින්නේ, පරිසරය රැකීමට මා ගන්නා උත්සාහය හෑල්ලුවට ලක් නොකරන ලෙසයි.වගකීම් සහගත පුද්ගලයින් ලෙස,සමාජ මාධ්‍ය හසුරවන්නන් ලෙස,පරිසරයට ආදරය කරන්නන් ලෙස මෙම වැඩපිළිවෙළ සාර්ථකව හා ආරක්ෂිතව ඉදිරියට සිදුකරගෙන යාමට ඔබේ සහය මා නිතැතින් අපේක්ෂාකරමි. අදූරදර්ශි කඩාකප්පල්කාරී ක්‍රියාවල නිරතනොවී පරිසරය රැකීමේ සටනට මා හා එක්වන ලෙස ඔබ සියලුදෙනාගෙන්ද ගෞරවයෙන් ඉල්ලා සිටිමි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.