කොටුගොඩ ධම්මාවාස මහනාහිමි අපවත් වෙති

කොටුගොඩ ධම්මාවාස යන නම කියැවෙන විට ඇසෙන විට ලොකු කුඩා සෑම දෙනෙකුන් විසින්ම ලැදිකමින් ඇහුම්කන්දෙන, නමක් බවට පත් විය. උන්වහන්සේ ඉතාමත් සරල සුගම ශෛලිගත සැලසුමකට අනුව ධර්ම දේශනා කරති. ඉතා ගැඹුරු ධර්ම කරුණු අටුවා, ටීකා, ටිප්පනී ආදිය ඇසුරු කොටගෙන සුදානමකින් යුතුව ඒ පවත්වනු ලබන ධර්මදේශනාවලට ගිහි පැවිදි දෙපක්ෂයේම මනස ඇදී ගොස් ඇත.

පෙර පිනක බලයෙන් දේශනාවන්හිදී වචන වාක්‍යය ගලාගෙන එන ආකාරය අසාගෙන සිටීමට ද බෞද්ධ අබෞද්ධ සියල්ලෝම දක්වනු ලබන්නේ මහත් වූ උනන්දුවකි. ඒ නිසාම ගුවන්විදුලි, රූපවාහිනී, ධර්මදේශනාවන් කොටුගොඩ මහා නාහිමිපාණෝ ප්‍රමුඛස්ථානයක් දිනාගෙන ඇත.

බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක – භික්ෂූන් වහන්සේලා විසින් ගෙවී ගිය, දෙදහස් පන්සිය වසරකටත් වඩා වැඩි කාලයක් පුරා මේ දක්වා ඉටුකරගෙන එනු ලබන්නෝ තම ශාස්තෘන් වහන්සේගේ ක්‍රියා මාර්ගයමය. ශ්‍රී ලංකාද්වීපය ඇතුළු අනිකුත් බෞද්ධ රටවල ද භික්ෂූන් වහන්සේ තම කාර්යභාරය සියලු බාධක මග හරවාගෙන ඉටු කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් දැනුදු බුදු සසුන ලොව පුරා පැතිර පවතින බව සඳහන් කළ යුතුව ඇත. එවන් අයුරින් සළකා බලන විට අපේ රටේ සඟ පරපුර බුදු සසුනට සෝභාමත් කරනු සඳහා ආරක්ෂා කර ගැනීම සඳහා දරා ඇති ප්‍රයත්නය සුළුපටු කරුණක් වශයෙන් සැලකිය නොහැකිය. ඒ සඟ පරපුරටම අයත් නූතන භික්ෂූන් වහන්සේලා අතර, සසුන මහඟු සේවාවක් කරන දැනට ද යෙදී සිටින, අග්ගමහා පණ්ඩිත, මහෝපාධ්‍යාය කොටුගොඩ ධම්මාවාස මාහිමිපාණන් වහන්සේ විශේෂත්වයෙහිලා සැලකිය යුතුව තිබේ.

අමරපුර මහා නිකායේ කාරක සංඝ සභිකයාන නමක් වශයෙන්ද, පසුව සම්මාන නායක පදවියකින් ද, අනතුරුව අධිකරණ නායක පදවිය ද හොබවන ලද කොටුගොඩ ධම්මාවාස නාහිමිපාණෝ පසුව අනුනායක පදවියේද කලක සිට සේවය කොට ඇත. ඉකුත් 17 වැනි ශනි දින නාවල විමල විහාරස්ථානයේ දී පවත්වන ලද ශ්‍රී සුමංගල කාරක සංඝ සභාවේ දී අග්ගමහා පණ්ඩිත රාජකීය පණ්ඩිත ශ්‍රී ධම්මකුශල වංශාවතංස අතිපූජ්‍ය අම්බලන්ගොඩ ශ්‍රී සුමංගල මහා නා හිමියන් සහ පානදුර රංකොත් විහාරාධිපති කැලණි සරසවියේ මහාචාර්ය, අංශාධිපති, රාජකීය පණ්ඩිත කහපොල සුගතරතන අනු නා හිමියන්ගේත් යෝජනා ස්ථිරත්වයෙන් මහා සංඝ සභාවේ ඒකමතික තීරණය අනුව කොටුගොඩ ධම්මාවාස නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ නිකායයේ සම මහානායක පදවියට පත්කරගනු ලැබූහ.

ධර්මය පිළිබඳ පොත පත ලිවීමෙන්ද කොටුගොඩ මහා නාහිමිපාණෝ කාගේත්, සිත් සතන් දිනාගෙන ඇත. සාසන පටිපදා, පිරිනිවන් මඤ්චකය, කේතුමතී රාජධානිය, කෝසල රාජ සිහින, මගඵල ලාභීන්, අනන්ත ජින උතුමාණෝ ඉස්මතුවන සම්බුදුගුණ අන්තිම බුද්ධ පූජාව ආදී ග්‍රන්ථ විසිපහකටත් වඩා වැඩි ගණනක් උන්වහන්සේ අතින් ලියැවී මුද්‍රණය වී ඇත. එයද සුවිශේෂ දක්ෂතාවයක් වශයෙන් දක්වාලීම වැදගත්ය. මෙවන් ගුණ සලකා උන්වහන්සේට ශ්‍රී ලංකා අමරපුර මහා නිකායයේ අමරපුර පාර්ශ්වයෙහි මහානායක පදවිය ශ්‍රී සුමංගල කාරක සංඝ සභාව විසින් ඒකමතික තීරණයෙන් පත්කරගන්නා ලදී.

කොටුගොඩ ධම්මාවාස මහා නා හිමියන්ට අපේ රටේ නිකායත්‍රයෙන්ම විවිධ ගෞරව නාම පිරිනමා ආශිර්වාද කොට ඇත. දීර්ඝ කාලයක සිට චීනය, ඉන්දියාව, නේපාලය, ජපානය, තායිලන්තය, බුරුමය ආදී රටවලද, එංගලන්තය, ඇමරිකාව ප්‍රධාන කොටගත් අපරදිග රටවලද ප්‍රමුඛ ධර්මදූතයාන කෙනෙක් වශයෙන් උන්වහන්සේ ලබා ඇති ප්‍රසිද්ධිය ලංකාවාසී ගිහි පැවිදි දෙපක්ෂයම අගේකොට සලකති.

සඟරුවනට සිදුවන අපහාස නතර කිරීම පිණිස භික්ෂු හැඳුනුම්පත වඩාත් විධිමත්ව නිකුත් කිරීමට කඩිනම් පියවර ගන්නා ලෙස තෛ‍්‍රනිකායික මහා නාහිමිවරු පෙරට ආවේය. මේ අඩුව හිස් තැන් කෙසේ නම් පිරවිය හැකිදැයි ප්‍රශ්නයකි. කෙසේවෙතත් ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහා නා හිමියන් අද (22) අලුයම 3ට පමණ කොළඹ පෞද්ගලික රෝහලක දී උන්වහන්සේ අපවත් වු බව වාර්තා වේ.

1933 ජනවාරි 23 දින දා මිනුවන්ගොඩ කොටුගොඩ ග්‍රාමයේදි උපත ලද උන්වහන්සේ වර්ෂ 1948 වසරේ පැවිදි දිවියට ඇතුළත් විය. කලක් රෝගාතුරව සිටි උන්වහන්සේ අපවත් වන විට 88 හැවිරිදි වියේහි පසු වුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.