පස්සර බස් අනතුරෙ පුළුල් විමර්ෂණයක්. අවමංගල්‍ය වියදම් රජයෙන්

මොණරාගල බදුල්ල මාර්ගයේ පස්සර 13 කණුව ප්‍රදේශයේදී මගී ප්‍රවාහන බස් රථයක් ප්‍රපාතයකට පෙරළීයාමෙන් සිදුවූ අනතුර සම්බන්ධයෙන් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස සිදුවූ අනතුර සම්බන්ධයෙන් විශේෂ විමර්ෂණයක් ආරම්භ කිරීමට තීරණය කර ඇත.

එය අනතුරට සැබෑ හේතුව සහ මෙවැනි අනතුරු වළක්වා ගැනීමට ගත හැකි පියවර සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම කමිටුවට පැවරෙන වගකීමකි. මහා මාර්ග අමාත්‍යංශය පවසන්නේ අනතුර සිදුවූ ස්ථානයේ නියමාකාරයෙන් මාර්ග ආරක්ෂක පියවර අනගමනය කර තිබුනාදැයි මෙහිදී සොයා බලන බවය.

එමෙන්ම අනතුරෙන් ජීවිතක්ෂයට පත්වූවන්ගේ අවමංගල්‍ය වියදම් සදහා රුපියල් 55,000 බැගින් ලබා දීමට තීරණය කර ඇත. ඉන් රුපියල් 30,000 බැගින් ලබා දෙන්නේ ඌව ආණ්ඩුකාර කාර්යාලය හා ඌව පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය මඟිනි. මීට අමතරව රුපියල් 25,000 බැගින් අවමංගල්‍ය වියදම් ලෙස ලබාදීමට ජාතික ගමනා ගමන කොමිෂම ද තීරණය කර ඇත.

මොණරාගල – බදුල්ල මාර්ගයේ පස්සර 13 කණුව ප්‍රදේශයේදී මගී ප්‍රවාහන බස් රථයක් ප්‍රපාතයකට පෙරළීයාමෙන් සිදුවූ අනතුරට හේතුව ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ටිපර් රථයකට මාර්ගයේ ඉඩ ලබාදීමට යාමේදී බස් රථයේ ඉදිරිපස රෝදය මාර්ගයෙන් ඉවතට ලිස්සා යෑම හේතුවෙන් බසය ප්‍රපාතයට පෙරළී යාමය. අනතුර සිදුවූ ස්ථානය ආසන්නයේ පස් කන්දක් මාර්ගයට කඩා වැටී තිබු අතර ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ටිපර් රථය එය ආසන්නයට පැමිණෙනවාත් සමග ඊට ඉඩ ලබාදීමට ගිය බස් රථය ප්‍රපාතයකට පෙරලී ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ අද උදෑසන සිදුවූ බස් රථ අනතුරට හේතුව නොසැලකිලිමත් රිය ධාවනය බවය. අනතුර සිදුවූ ස්ථානය අසල ඇති භෞතික හා පරිවේෂණීය සාක්ෂි පරික්ෂා කිරීමේ දී රියදුරාට මෙම බස් රථය පාලනය කර ගැනීමට හැකියාවක් තිබී නොමැති බව පෙනී යන්නේ යැයි ඔහු පැවසුවේය.

අනතුරට ලක්වු බස් රථයේ සිටි පිරිස බේරා ගැනීමට හා තුවාලකරුවන් සුන් බුන් අතරින් ඉවතට ගැනීම සඳහා පොලිසියට මෙන්ම ප්‍රදේශවාසීන්ට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවූ අතර මෙම අනතුරින් පුද්ගලයින් 15 දෙනෙකු ජිවිතක්ෂයට පත්විය.

බස් රථයේ රියදුරුද ඒ අතරට අයත් බව ප්‍රකාශ වුවද රියදුරු අසුනේ සිරවී සිට ඇත්තේ රියදුරු නොවන බවයි මේ වන විට අනාවරණය වී ඇත. බස් රථයේ රියදුරු බරපතල තුවාල ලබා මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටින අතර ටිපර් රථය අත්අඩංගුවට ගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.