විමල් සිගරැට් දැන්වීමකට ප්‍රසිද්ධියේ පෙනී සිටී

දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ විරෝධය මැද ශ්‍රී ලාංකික කුරුඳුවලින් නිෂ්පාදිත ආයුර්වේද ධූමපාන (කුරුඳු සිගරැට්ටුව) ජනගත කිරීම ඊයේ (17) කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී සිදුවිය.

මෙම කුරුඳු දුම්වැටිය නිෂ්පාදනය නතර කරන ලෙසට දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය විසින් දැනුම් දී ඇති පසුබිමක දී මෙම නිෂ්පාදනය ඊයේ (17) දින ජනගත කෙරුණේ.

සියයට සියයක් ශ්‍රී ලාංකීය කුරුදුවලින් නිෂ්පාදනය කළ Lion Heart ලෙස නම් කර ඇති මෙම ආයුර්වේද ධූමපාන නිපැයුම්කරු වන්නේ සමන්ත පුංචිහේවා මහතා ය.

මෙරට අමුද්‍රව්‍ය මත පදනම් වූ මේ ධූමපාන තදින් දුම්පානයට ඇබ්බැහි වූ අයෙකුට ඉන් මිදිය හැකි ආදේශයක් බව ද පවසන අමාත්‍යවරයා මෙරට නිෂ්පාදන ක්ෂේත්‍රයේ යෝධ පිම්මක් තබනු ඇතැයි තමා විස්වාශ කරන බව පැවසිය.

බහුජාතික සමාගම්වල අනුදැනුම හා මෙහෙයවීම මත සමහර රජයේ ආයතන මේ නව නිපැයුමට “බාල්දි පෙරළීමට” බලා සිටින බව පවසන අමාත්‍යවරයා අවධාරණය කළේ නීති පොතේ කුමන වගන්ති පැවතියද නව නිෂ්පාදනකරුවෙකගේ නිෂ්පාදන ඉදිරියට ගෙන යාමට කර්මාන්ත ඇමැතිවරයා ලෙස තමන් කැප වන බව ය

කුරුඳුවලින් නිෂ්පාදිත ආයුර්වේද ධූමපාන නිෂ්පාදන ක්ෂේත්‍රයේ හැරවුම් ලක්ෂයක් බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.

ලංකාවේ නීති පද්ධතිය සකස් වී ඇත්තේ නව නිපයුම්කරුවන් ඉදිරියට ගෙන යාමට නොව හිරේ දැමීමට නිසා නීතිය වෙනස් කොට නව නිපැයුම්කරුවන් දෙස සාධාරණව බැලිය යුතු බව ද අමාත්‍යවරයා පවසයි.

නව රැකියා ලක්ෂයක් පමණ උත්පාදනය කරමින් වසරකට ඩොලර් බිලියනයක පමණ අපනයන ආදායමක් රටට ගෙන ඒමට ඉලක්ක කර තිබෙන කුරුඳු සිගරැට් නිෂ්පාදනය වහාම නතර කරන්නැයි ලිඛිතව එම දේශීය නිෂ්පාදන සමාගමට දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය දැනුම් දුන් බව එම අධිකාරියේ සභාපති වෛද්‍ය, ආචාර්ය සමාධි රාජපක්ෂ මහතා සඳහන් කරයි.

“මේ රටේ ජනතාවගේ සෞඛ්‍ය, දුම්කොළ සහ මද්‍යසාර වලින් ආරක්ෂා කිරීමේ වගකීම අපගේ අධිකාරියට තිබෙනවා. අපේ පනතේ 2006 ඉඳලම තිබෙනවා, දුම්කොළ නිෂ්පාදනයක් සේ දර්ශනය වන දුම්කොළ නිෂ්පාදනයක් නොවන යම් ද්‍රව්‍යයක් කිසියම් තැනැත්තෙකු විසින් නිෂ්පාදනය කිරීම හෝ විකිණීම, විකිණීම සඳහා ආනයනය කිරීම හෝ නොමිලේ බෙදාහැරීම නොකළ යුතුය කියා. එම පනත පදනම් කරගෙන තමයි අපි කුරුඳු සිගරැට් නිෂ්පාදනය නතර කරන්නැයි ලිඛිතව එම සමාගමට දැනුම් දුන්නේ.“

දේශීය සමාගමක් නවෝත්පාදනයක් කරමින් රටේ ආර්ථිකය නැංවීමට දායකත්වයක් දැක්වීමට සූදානම් වෙද්දී බහු ජාතික සිගරැට් සමාගම් වල වුවමනාවට මෙම ව්‍යාපෘතිය නතර කිරීමට දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය කටයුතු කරමින් ඇතැයි චෝදනාවක් යමෙකුට එල්ල කළ හැකියැයි අධිකාරියේ සභාපතිවරයා වැඩිදුරටත් අවධාරණය කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.