ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය අවභාවිතයට එරෙහිව නව නීති

ඉන්දික ශ්‍රී අරවින්ද

ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය අවභාවිතා කිරීම මෙන්ම වෙළඳ භාණ්ඩ සඳහා යොදා ගැනීම සම්බන්ධයෙන් නව නීති ගෙන ඒමට ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇත.

ඒ අනුව ඉදිරියේදී ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය වීකෘති කිරීම,කොඩියේ ඇතැම් කොටස් ඉවත් කිරීම මෙන්ම වෙළඳ භාණ්ඩ සඳහා යොදා ගැනීම සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට හැකිවන පරිදි නව නීති සකස් කෙරෙන බව එම අමාත්‍යංශයේ අතිරේක ලේකම් කේ.ජි.ධර්මතිලක මහතා Colombo Gazette වෙත ප්‍රකාශ කළේ.

දැනට ජාතික කොඩිය සම්බන්ධයෙන් ඇත්තේ රීතියක් පමණක් බැවින් එය නීතියක් ලෙස පර්වර්තනය කර පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීම සිදුකළ යුතුය.

ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය සම්බන්ධ නීති සකස් කර තිබුණේ නම් පසුගිය දා මහත් ආන්දෝලනයකට ලක් වූ ජාතික කොඩිය යොදාගෙන නිෂ්පාදනය කළ “පා පිස්නාව”ට එරෙහිව අදාල චීන සමාගමට අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාව ඇති බව ධර්මතිලක මහතා අවධාරණය කරයි.

මේ සම්බන්ධයෙන් රීති සංග්‍රහයේ 11 (අ ) වගන්තියට අනුව ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය කිසිම අවස්ථාවකදී අඳින ඇඳුමක් හෝ ඇඳ ඇතිරිල්ලක් හෝ වෙනත් වෙළඳ භාණ්ඩයක් සඳහා යොදා ගැනීම නොකළ යුතුය යන්න එහි දක්වා ඇත.

යම් ලෙසකින් ශ්‍රී ලංකික පුරවැසියෙකු අදාල වෙළඳ ආයතනය හරහා මෙම ශ්‍රී ලංකාවේ කොඩිය සහිත නිෂ්පාදන ඇනවුම් කළ හැකි බැවින් එම ක්‍රියාවලිය වැලක්වීමට පියවර ගන්නා ලෙස අදාල තානාපති කාර්යාල දැනුවත් කරන මෙන් ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශය විසින් විදේශ කටයුතු අමාත්‍යංශයටත්,වෙළඳ අමාත්‍යංශයටත් ලිඛිතව දැනුම් දී ඇත.

ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය සම්බන්ධයෙන් නව නීති සකස් කිරීම සඳහා පත්කළ විශේෂ කමිටුව මේ මස අගදී රැස්වීමට නියමිතව ඇතැයි ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් කේ.ජි.ධර්මතිලක මහතා වැඩිදුරටත් පැවසිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.