ඇමති විමලවීරට වනජීවී නිලධාරීන් පහරදීමට උත්සහ කළ බවට පොලිසියට පැමිණිල්ලක්

ඉන්දික ශ්‍රී අරවින්ද

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මහඔය වන අඩවි වන නිලධාරී කාර්යාලයේ නිලධාරීන් පිරිසක් තර්ජනය කර පහර දීමට උත්සහ කළ බවට වනජීවි රැකවරණය, අලිවැට හා අගල් ඉදිකිරීම ඇතුළු ආරක්ෂිත වැඩපිළිවෙලවල් හා කැලෑ නැවත වගා කිරීම හා වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා පොලීසියට පැමිණිලි කර තිබේ.

මහඔය පොලිසිය සඳහන් කරන්නේ පෙරේදා(13) දිනයේ අමාත්‍යවරයා මෙසේ පැමිණිලි කර ඇති බවයි.

රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා ඔහුගේ ආරක්ෂකයින්ද සමග අම්පාර මහඔය අඩවි වන කාර්යාලය ට පැමිණ එහි නිලධාරීන්ට බැණ වැදී තර්ජනය කර ඔවුන්ගේ අත්අඩංගුවේ සිටි සැකකරුවෙකු මුදා ගෙන ගොස් ඇතැයි අඩවි වන නිලධාරීහු සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් සැකකරු මහඔය ටැම්පිටිය රක්ෂිතයේ විශාල ප්‍රමාණයේ ගස් විදුලි කියතකින් කුට්ටි කරමින් සිටියදී අත්අඩංගුවට ගත් අයෙකු බව සඳහන් වෙයි.

සැකකරු මුදාගැනීමට අඩවි වන කාර්යාලයට කඩාගෙන පිරිස අතර මහඔය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ද සිටින බව නිලධාරීහු පවසයි.

එමෙන්ම රාජ්‍ය ඇමැතිවරයා අම්පාර දිසා වන නිලධාරියාට දුරකතනයෙන් බැණ වැදී ඇති බව ද නිලධාරීන් පවසති.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා Colombo Gazette වෙත ප්‍රකාශ කළේ මහජන නියෝජිතයෙක් ලෙස අදාළ සැකකරු නිදහස් කර ගැනීමට තමා මැදිහත් වූ බවත් වන නිලධාරීන්ට තර්ජනය කිරීමට හෝ පහරදීමට උත්සහ නොකළ බවයි.

එහෙත් එම අවස්ථාවේදී තමාට එම වන නිලධාරීන් තර්ජනය කර පහරදීමට උත්සහ කර ඇති බවට මහඔය පොලිසියට පැමිණිල්ලක් කළ බව රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා වැඩිදුරටත් පැවසිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.