විදුලි කණුවල ගැටී සිදුවන අනතුරු අවම කිරීම සඳහා මාර්ග ආශ්‍රිතව අවිධිමත්ව පවතින විදුලිකණු නිවැරදිව ඉවත්කිරීමට සහ සුදු වර්ණය ආලේපකිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය සමග සාකච්ඡාකොට ඉක්මනින් වැඩපිළිවෙලක් සැකසීමට කටයුතු කරන ලෙස විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා විදුලිබල මණ්ඩලයේ නිළධාරීන්ට උපදෙස් ලබා දී ඇත.
මාර්ග පුළුල් කොට සංවර්ධනය කිරීමේදී පැරණි විදුලි කණු ඉවත්කිරීම ඇතැම් ප්‍රදේශවල නිවැරදිව සිදු වී නොමැති බැවින් විදුලි කණුවල ගැටී මාර්ග අනතුරු සිදුවන බවත් මේ සඳහා ඉක්මනින් විසදුමක් අවශ්‍ය බැවින් මෙම යෝජනාව සිදු කර ඇත.
විශේෂයෙන් තරුණ ජීවිත බොහෝ ප්‍රමාණයක් මෙවැනි අනතුරු නිසා අහිමිවන බවත් මෙහිදී ප්‍රකාශ වූ අතර මාර්ග ආසන්නයේ පවතින විදුලි කණු සඳහා සුදු වර්ණය ආලේප කිරීම සෑම ප්‍රදේශයකම සිදුකිරීමේ අවශ්‍යතාවයද මෙහිදී මන්තීවරුන් විසින් පෙන්වා දී ඇත.
මේ අනුව හැකි ඉක්මනින් මාර්ග සංවර්ධන අධිකාරිය සමඟ සාකච්ඡාකොට මේ සඳහා පිළියම් යොදන ලෙසටද සූර්ය බලශක්ති පුවරු මිලදීගැනීමට ටෙන්ඩර් කැඳවීම් වලදී අක්‍රමිකතා සිදුව ඇත්නම් එම අක්‍රමිකතා සඳහා සම්බන්ධ නිලධාරීන් සීටීනම් ඔවුන්ට සහ එම ආයතනවලට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය පිළිබඳවසාකච්ඡා කර ඇත.
එසේම ප්‍රාදේශීය වශයෙන් සිදුවන විදුලිය බිදවැටීම් පිළිබඳව ද, ප්‍රදේශ කිහිපයකට විදුලිබල මණ්ඩලයට අයත් අනු ආයතන ඇතිකිරීමේ අවශ්‍යතාවය පිළිබඳව ද, උතුරු පළාතේ ප්‍රදේශ කිහිපයක නිවෙස් සඳහා විදුලිය ලබා දීම පිළිබඳව ද සාකච්ඡා කළේය.