පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමට රජය සුදානම්

පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පත හෝ එහි ඇති ව්‍යාකූලතා ඉවත් කර මැතිවරණය කඩිනමින් පැවැත්වීමට පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ පාර්ශ්වයන්ට වෙත උපදෙස් දී තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පළාත් සභා සංසදය සමග ඊයේ (12) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේ දී ජනාධිපතිවරයා මේ බව පවසා ඇත.

කොට්ඨාස ක්‍රමය, සීමා නිර්ණය, පනහට පනහ, කාන්තා සංයුතිය ඇතුළුව පැවති ආණ්ඩුව ගෙන ආ පනත් කෙටුම්පත ඔවුන් විසින්ම පරාජය කරන ලදී.

මහජන නියෝජිතයන් නැතිව දැන් පළාත් සභාව ක්‍රියාත්මක වන අතර මේ තත්ත්වය ගැන ජනතාව දැනුවත් කර මැතිවරණය කඩිනමින් පැවැත්වීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කර ඇත.

රටේ ජාතිකත්වයට, දේශීයත්වයට හා ආරක්ෂාවට මුල් තැන දෙමින් පක්ෂයේ ප්‍රතිපත්ති සහ ජනතාවට වූ පොරොන්දු ඉටු කරමින් ගත වූ මාස 15ක කාලය තුළ තීරණ ගත් බව ජනාධිපතිවරයා පවසා තිබේ.

ජාතිකවාදී රජයක් බලයට පැමිණි සෑම අවස්ථාවකදීම දේශීය මෙන්ම විදේශීය බලවේග එය බිඳ දැමීමට ක්‍රියා කළ නමුත් මහින්ද රාජපක්ෂ මහතා බලයෙන් ඉවත් කිරීමට ගෙන ගිය අසත්‍ය ප්‍රචාරයට හසු වීමෙන්, පසුගිය වසර 05 තුළ රට කොතරම් පසුපසට ගමන් කළේද යන්න වටහා ගත යුතුය.

ඒ නිසා සමස්ත රට මෙන්ම භික්ෂුන් වහන්සේ, රණවිරුවන් පත්වූ අපහසුතාව ජනතාව අවබෝධ කරගෙන සිටිති.

රජය වර්තමානයේ ගෙන යන වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීමට එකී බලවේග නැවත උත්සාහ දරමින් සිටින අතර ඊට හසු වුවහොත් අත්විඳීමට සිදු වන ප්‍රතිඵල ගැන ජනතාව දැනුවත් කිරිමේ වැදගත්කම ජනාධිපති අවධාරණය කළේය.

පාස්කු ප්‍රහාරය විමර්ශනයට පත් කෙරුණු ජනාධිපති කොමිෂමේ වාර්තාව සම්බන්ධයෙන් කාදිනල්තුමාගේ එකඟතාව සහ විශ්වාසය මත කොමිෂමේ කටයුතු ඉදිරියට පවත්වාගෙන යාමට පියවර ගැනිණ.

එහෙත් කොමිෂන් සභා වාර්තාවේ ජාතික ආරක්ෂාවට බලපාන කරුණු හැර සෙසු සියල්ල ජනතාව හමුවේ තබා ඇති බව ජනාධිපතිවරයා මෙහිදී පවසා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.