ශ්‍රී ලංකා ජාතික කොඩිය පහළටම දමයි-ළඟදීම පාපිස්නක් ලෙස වෙළඳ පොළට

ඉන්දික ශ්‍රී අරවින්ද

අන්තර්ජාලය මගින් භාණ්ඩ අලෙවි කරන ලොව ප්‍රමුඛ ආයතනයක් වන ඇමසන් ආයතනය ශ්‍රී ලංකා ජාතික කොඩිය සහිත පාපිස්නාවක් (Doormat) වෙළෙඳපළට නිකුත් කර ඇත.

ඇමරිකාවේ වොෂින්ටනය මූලස්ථානය කරගත් ‘ඇමසන්’ ආයතනයේ amazon.com ‌වෙබ් අඩවිය ඇමරිකානු ඩොලර් දොළහකට එය මිලකර තිබේ.

අන්තර් ජාලය මගින් ලොව පුරා භාණ්ඩ විකුණන මෙම ආයතනය සිංගප්පූරුවේ සිට මෙම පාපිස්න ලොව පුරා බෙදා හැරීම කරන අතර මෙරටට එවීම සඳහා ඇමරිකානු ඩොලර් 9.20ක නැව් ගාස්තුවක්ද අයකරන බව සඳහන් කර ඇත.

ඇමසන් සමාගමේ වාර්ෂික පිරිවැටුම ඇමරිකානු ඩොලර් බිලියන 21 ඉක්මවයි. සේවකයින් දොළොස් ලක්ෂ අනූඅටදාහක් එම ආයතනයේ සේවය කරති.

මේ සම්බන්ධයෙන් කළ විමසුමකදී පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති ​මේජර් ජනරාල් ශාන්ත දිසානායක මහතා Colombo Gazette වෙත ප්‍රකාශ කළේ මෙය ශ්‍රී ලංකා වෙළෙඳපොළට නිකුත් කරන්නේ නම් ගත හැකි නීතිමය ක්‍රියාමාර්ග ගැන අවශ්‍ය බලධාරීන් දැනුවත් කිරීමට කටයුතු කරන බවයි.

ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය මෙලෙස පාපිස්නාවකට යොදා ගැනීම සම්බන්ධයෙන් ‘ඇමසන්’ ආයතනයට එරෙහිව විදේශ කටයුතු අමාත්‍යංශය හරහා මෙරට ඇමරිකානු තානාපති කාර්යාලය දැනුවත් කිරීමට පියවර ගන්නා බව මේජර් ජනරාල් ශාන්ත දිසානායක මහතා වැඩිදුරටත් පැවසිය.

ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ අතිරේක ලේකම් කේ.ජි.ධර්මතිලක මහතා Colombo Gazette වෙත අදහස් දක්වමින් සඳහන් කළේ පාපිස්නයක් වැනි දෙයකට රටක ජාතික කොඩියක් යොදා ගැනීම සම්පුර්ණයෙන් නීති විරෝධී ක්‍රියාවක් බවත් ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය දැනුවත් කිරීමට පියවර ගැනීමට කටයුතු කරන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.