සෞඛ්‍ය රීතීන්වලට අනුගතව මහ ශිව රාත්‍රී දින වතාවත් සිදුකරන්නයි ඉල්ලයි

ලොව පුරා හින්දු බැතිමතුන් අද (11) ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් මහා ශිව රාත්‍රී දිනය සමරනු ලබයි.

ශිව දෙවියන්ගේ ආලෝක කදම්බයෙන් මෝහාන්දකාරය දුරුකොට ප්‍රඥා මහිමය අත්කර ගැනීමේ ප්‍රාර්ථනාව පෙරදැරිව ශ්‍රී ලාංකේය සහ ලොව පුරා හින්දු බැතිමතුන් අනාදිමත් කාලයක සිට මහ ශිව රාත්‍රී දිනය සමරනු ලබන බව මහ ශිව රාත්‍රී දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

පසුගිය වසරේ පැවති කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය රීතීන්වලට අනුගතව මහ ශිව රාත්‍රී දින වතාවත් සිදුකිරීමට හින්දු බැතිමතුන්ට සිදුවූ බව ද ජනාධිපතිවරයා පවසයි. මෙවර යම් ලිහිල් කිරීමක් පැවතිය ද සෞඛ්‍ය උපදෙස් පිලිපදිමින් එම දිනය සමරනු ඇති බවට තම විශ්වාසය බව ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය මහ ශිව රාත්‍රී දින පණිවිඩයෙන් පවසා තිබේ.

ලොව පුරා හින්දු බැතිමතුන් සමඟ එක්වෙමින් මහා ශිව රාත්‍රී දිනය ඉමහත් භක්ත්‍යාදරයෙන් සමරන ශ්‍රී ලාංකේය හින්දු භක්තිකයන්ට සුභාශිංසන පළ කරනුයේ ඉමහත් සතුටින් බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් අගමැතිවරයා මෙසේ සදහන් කරයි.
විවිධ ජනවර්ග සමඟ මිත්‍රශීලීව සහ එකමුතුව ජීවත්වීමේ දීර්ඝ සම්ප්‍රදායක් ශ්‍රී ලාංකේය හින්දු භක්තිකයන්ට ඇත. ඔවුන් සියලු දෙනා දැඩි අධ්‍යාත්මික හැඟීමකින් යුතුව ශිව රාත්‍රී දින උපවාසයේ යෙදී සිටිති.

මහා ශිවරාත්‍රි දින උපවාසය ඔස්සේ අධ්‍යාත්මික විමුක්තිය උදාවනු ඇතැයි හින්දු භක්තිකයින්ගේ ඉහළ විශ්වාසයයි. හින්දු බැතිමතුන් මහා ශිව රාත්‍රි දිනයේ මෙසේ නිරාහාරව සිටීම සහ ශුද්ධ වූ චාරිත්‍ර පිළිපැදීම මඟින් අධ්‍යාත්මික ජීවිතය පොහොසත් කරයි. අද වැනි උතුම් දිනෙක දෙවියන්ගේ අධ්‍යාත්මික ශක්තිය තමන් කෙරෙහි ලැබෙනු ඇතැයි ද හින්දු විශ්වාසයක් පවතියි‍. එකිනෙකා අතර අන්‍යෝන්‍ය අවබෝධය සහ ප්‍රතිසන්ධානය තුළින් එක්සත්කම සඳහා වූ මෙම විශිෂ්ට ප්‍රයත්නයට ශිව දෙවියන්ගේ ආශිර්වාදය නිතැතින් හිමිවනු ඇති බව මාගේ විශ්වාසයයි.

අද අඳුර දුරලා ආලෝකය ජයගත් දිනය මෙය බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි. ඔහුගේ නිවේදනය මෙසේයි.

බහු සංස්කෘතික අගයන් ,සංහිඳියාව සහ අඛණ්ඩ සාමය අගයන ශ්‍රී ලාංකික සමාජයේ මහාශිව රාත්‍රිය යනු හුදෙක් අඳුර දුරලා පහනක් දල්වන වෛවර්ණිත උත්සවයකට පමණක් සීමා නොවෙයි.එය නිරන්තරයෙන් ඉවසීම සහ සාමය අගයන උත්කර්ෂවත් සම්පුදායකට උරුමකම් කියන ගෞරවනීය හින්දු ආගමෙහි උත්කෘෂ්ඨ භාවය ලෝකයට නිරූපණය කරයි. එහෙයින් ,ප්‍රථමයෙන් ලොව පුරා භක්තියෙන් ශිව රාත්‍රිය සමරන (11) දවසේ ආගමික වතාවත්වල නියැළෙන සියලු හින්දු භක්තියන්ට මාගේ හෘදයාංගම සුභාශිංසන පළමුව එක් කරනු කැමැත්තෙමි.

මෙරට ප්‍රජාතන්ත්‍රවාදයේ මුදුන්මල්කඩ වන ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නන්විධ ජාති,ආගම්,භාෂා,වර්ග නියෝජනය කරන මහජන නියෝජිතයන් 225 කින් සැදුම් ලද්දාක් මෙන්ම ලාංකික ජන සමාජයද විවිධ ආගම්,ජාති සහ වාර්ගික වෙනස්කම්වලින් සමන්විත වෙයි. ඒ සියලු ජනමූල සම්ප්‍රදායන්හි විවිධත්වය අප සමාජයට ගෙන එන්නේ අභිමානවත් අලංකාරයකි.

එසේම,පුරවැසියන් ලෙස අප සියලු දෙනා සාකල්‍යයෙන්ම පිළිගනා ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව සෑම තැනැත්තකුට ම තමන් අභිමත ආගමක් ඇදහීමේ හෝ වැළඳ ගැනීමේ නිදහස, ආගමක් හෝ විශ්වාසයක් දැරීමේ හෝ පිළිගැනීමේ නිදහස ද ඇතුළුව සිතීමේ නිදහසට, හෘදය සාක්ෂියේ නිදහසට සහ ආගමික නිදහසට හිමිකම් ඇත්තේය. එහෙයින්, සියලු ශ්‍රී ලාංකිකයන් ලෙස අප එකිනෙකා හා කටයුතු කළ යුතු වන්නේ අනෝන්‍ය ගෞරවයෙන් හා අචල විශ්වාසයකිනි .

එතනෙකා පිළිබඳව වන අනෝන්‍ය ගෞරවය හා අචල විශ්වාසය නොමැතිව අපට රටක් ලෙස මෙවන් අර්බුදකාරී සමයක එකමුතුව ඉදිරියට යා නොහැකි වනු ඇතිබව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක ලෙස මගේ අවබෝධයයි. අපගේ ශිෂ්ටාචාරයේ මුල් යුගවලදී පටන් සාමය සහ සංහිඳියාව ප්‍රගුණ කළ අභිමානවත් දැයක් ලෙස ප්‍රකට
වූ ආසියානු අප මේ උතුම් වූ ශිව රාත්‍රී දිනය සමරන අවස්ථාවේදී අභ්‍යාස කළ යුතු හොඳම පාඩම ඉවසීමයි.

මේ ආලෝකවත් ශිව රාත්‍රියේදී අප අතර සබඳත‍ා තර කරගැනීමට අදිටන් කරගතහොත් මෙරට අනාගතය සාමය,සංහිඳියාව සහ සෞභාග්‍යය සපිරුණු ආලෝකමත් එකක් බවට නිසැකයෙන්ම පත්වනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.