දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේ බලය චීන සමාගමකට

ඉන්දික ශ්‍රී අරවින්ද

මෙරට දේශීය රාජ්‍ය ආයතනයක් ඉදිරිපත්ව සිටියදී දුම්රිය ස්ථානවල ‘ස්මාර්ට් කාඩ් පද්ධතියක්’ මෙන්ම එම යන්ත්‍ර ස්ථාපනය කිරීම සඳහා රජය සහ චීනය සමගක් අතර ගිවිසුමකට එළඹ ඇත.

මෙම කොන්ත්‍රාත්තුව චීන සමාගමකට ලබාදීමට පසුගියදා කැබිනට් මණ්ඩල අනුමැතිය ද හිමිව තිබේ.

ශ්‍රී ලංකාවේ දුම්රිය මගීන් සඳහා ඉක්මනින් ස්මාර්ට් කාඩ්පතක් හා දුම්රියවල ආසන වෙන්කරවා ගැනීම සඳහා ඊ-ටිකට්පත් ක්‍රමයක් නුදුරු අනාගතයේදී හඳුන්වා දෙන බව ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය පසුගිය වසරේදී නිවේදනය කළේය.

දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේ යාන්ත්‍රණය පියවර පහක් යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිත අතර මෙම ව්‍යාපෘතිය යටතේ හඳුනාගෙන ඇති ප්‍රධාන නගරවල දුම්රිය ස්ථාන ආශ්‍රිතව විද්‍යුත් ප්‍රවේශ පත්‍ර යන්ත්‍ර ස්ථාපනය කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

මෙම ක්‍රමවේදය යටතේ අදාළ දුම්රිය ස්ථාන හරහා ගමන් කරන මගීන්ට දුම්රිය ස්ථානයෙන් රීලෝඩ් කාඩ්පත්, මාසික භාවිත පැකේජ සහිත කාඩ්පත් සහ ‘QR කේත’ හරහා ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමේ හැකියාව ලබාදීමට නියමිතය.

මෙම ව්‍යාපෘතිය සඳහා වන කොන්ත්‍රාත්තුව ජාතික ටෙන්ඩර් ක්‍රියාවලිය හරහා ලංසු තැබීමෙන් අනතුරුව අදාළ චීන සමාගමට ලබාදී ඇති අතර 2023 වර්ෂය අවසන් වන විට සියලුම ප්‍රවේශ පත්‍ර යන්ත්‍ර සවිකිරීමේ වගකීම සමාගමට පවරා ඇත.

ව්‍යාපෘතිය මගින් දුම්රිය ස්ථානවල දිනපතා වර්තාවන මගී තදබදය අවම කර ගැනීමට අපේක්ෂා කෙරෙයි.

මේ අතර මෙම කොන්ත්‍රාත්තුව චීන සමාගමකට ලබාදීමට ගත් පියවර පිළිබඳව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ආයතනයේ හිටපු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික සංජීව වීරවර්ණ ප්‍රශ්න කරයි.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු පවසා ඇත්තේ තමන් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ මණ්ඩලයේ සිටියදී මෙම ව්‍යාපෘතිය පිළිබඳ වාර්තාවක් ලිවීමට සහයෝගය ලබා දුන් බවත් එමගින් දේශීය වශයෙන් දුම්රිය ප්‍රවේශ පත්‍ර සඳහා වඩා නවීන විසඳුමක් යෝජනා කළ බවත්ය.

ස්මාර්ට් කාඩ්පත් පද්ධතිය යල් පැන ගිය ක්‍රමවේදයක් බව පවසන හිටපු අධ්‍යක්ෂවරයා මේ වනවිටත් ස්මාර්ට් දුරකථන භාවිත කරන පිරිස ඉහළ අගයක් ගන්නා බැවින් ඒ ඔස්සේ පහසුවෙන් වියදම් අඩු ක්‍රමවේදයක් සැකසිය හැකි බව සඳහන් කළේය.

ආසියානු සංවර්ධන බැංකුවේ ණය ආධාර යටතේ යෝජිත දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේ ව්‍යාපෘතිය චීන සමාගමකට දීමට රජය තීරණය කර ඇත්තේ ඇතැම් දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ බලපෑම මතයි.

මෙම ව්‍යාපෘතියේ මුළු වියදම ඇමරිකානු ඩොලර් මිලියන 22 කට ආසන්න වන අතර ව්‍යාපෘතියේ වගකීම් කාල සීමාව වසර 8කි.

මෙම ආයෝජනයට සාපේක්ෂව දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම සදහා දිනකට යන වියදම අවම වශයෙන් රුපියල් මිලියන 1.2 කට වඩා වැඩිවෙයි.

මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළහොත්, දුම්රිය ධාවනය වූවත් නැතත් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව මෙම ආයෝජනය සාධාරණීය කිරීම සඳහා දිනකට රුපියල් මිලියන 1.2 කට වඩා වෙන් කළ යුතුය.

මෙම ව්‍යාපෘතිය සඳහා රජයේ ආයතනයක් වන ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම විසින් මේ වන විටත් ඉතා සහනදායී විසදුමක් ලබා දීඇති අතර ඒවාද නොසලකා මෙම ව්‍යාපෘතියට සම්බන්ධ චීන සමාගමේ ලංකාවේ නියෝජිතයායි කියා ගන්නා softlogic නම් වූ පුද්ගලික සමාගම මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සුදානම් බව දුම්රිය රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩන්ගොඩ මහතා පවසයි..

මෙයට සම්බන්ධ වී ඇති චීන සමාගමට ලංකාවේ ව්‍යාපෘති කරායැයිද කියා කිසිදු අත්දැකීම් ද නැති ආයතනයක් වන අතර මෙම චීන සමාගම ෆින්ලතයේ සහ නොර්වේහි අසාදු ලේඛණගත (Black List) සමාගමක් ලෙසද වාර්තා වන බවයි එම සංගමය ප්‍රකාශ කළේ.

මෙම චීන සමාගමේ දේශීයව ස්ථාපනය කර ඇති සමාගමේ ඇත්තේ එක් නිලධාරියකු පමණක් බවත් එම සමාගමට අදාළ ව්‍යාපෘතිය භාරදීම සඳහා බාහිර පාර්ශවයන්ගෙන් බලපෑම් ද එල්ල වෙමින් පවතින බව දොඩම්ගොඩ මහතා පවසයි.

මෙම ව්‍යාපෘතිය සඳහා කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත්තේ මෙයට සුදුසු දේශීය සමාගමක් හවුල් කර ගෙන කිරීම සඳහා වන අතර චීන සමාගමේ අභිමතය මත ඔවුන් softlogic ආයතනය තෝරා ගෙන තිබේ.

ප්‍රසම්පාදන ක්‍රියාවලිය තුළ මෙය උපකොන්ත්‍රාත් කරුවන් බදවා ගැනීමේ ක්‍රියාවලියට යටත් වන බැවින් මෙය Principle Bidder ගේ Bid Proposal එකේ සදහන් නොවන නිසා Principle Bidder ට උප කොන්ත්‍රාත් කරුවකු වෙනස් කිරීම සඳහා බලය ඇත.

වර්තමාන ප්‍රවාහන ඇමැතිවරයා, ජනාධිපතිවරයා ඇතුළු සියලු දෙනාගෙන් රජයක් වශයෙන් ඉල්ලා සිටින්නේ මෙහි දේශීය නියෝජිත වශයෙන් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පත් කර ස්ථිරසාර විසඳුමක් ලබා දෙන ලෙසයි.

එයින් විදේශ විනිමය පාලනයක් වන නිසාය මෙම චීන සමාගම ඉතා සූක්ෂම ලෙස මෙම යෝජනාව මග හරිමින්, කූට ක්‍රියාකාරකම් වලින් මෙය සොෆ්ට්ලොජික් (softlogic) ආයතනය හරහා ම කිරීමට සැරසේ.

මේ වනවිට ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම ඔවුන්ගේ යෝජනා වක් ලෙස කිසිදු මූලික වියදම් නැතිව උපයන විට ගෙවීමේ ක්‍රමයට මෙවැනිම යෝජනා වක් ඉදිරිපත් කර ඇති බව දුම්රිය රියදුරන්ගේ සංගමය අවධාරණය කරයි.

මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම තුළින් දුම්රිය සේවක කප්පාදුවක්ද සිදුවීමට ඉඩ ඇති බැවින් වහාම එම ව්‍යාපෘතිය චීන සමාගමෙන් ඉවත් කොට එය ටෙලිකොම් සමාගමට හෝ දේශීය සමාගමකට ලබා දීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිට ලිඛිතව දුම්රිය රියදුරන්ගේ සංගමය දැනුම් දී තිබුණි.

මේ සම්බන්ධයෙන් කළ විමසුමකදී දුම්රිය සාමාන්‍යධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා Colombo Gazette වෙත ප්‍රකාශ කළේ මහින්ද අමරවීර මහතා ප්‍රවාහන අමාත්‍ය ධුරය දරපු කාලය තුළදී මෙම ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය ලැබුණු බවයි.

හිටපු ප්‍රවාහන අමාත්‍ය සහ වත්මන් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේ මෙම ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය ලැබුණු බවත් එය ටෙන්ඩර් කැඳවීමකින් පසු අදාළ චීන සමාගමට ව්‍යාපෘතිය ලබා දී ඇති බවයි.

අදාළ කැබිනට් පත්‍රිකාව දුම්රිය දෙපාර්තමේන්තුවෙන් සකස්කර ලබා දුන් එකක් බැවින් එය වැඩි අවධානයකට ලක් නොකරම අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියට යොමු කිරීමට ක්‍රියාකළ බව මහින්ද අමරවීර අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසිය.

ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා ප්‍රකාශ කළේ තමා ප්‍රවාහන අමාත්‍ය ධුරය ලබා ගැනීමට පෙර මෙම දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේ යන්ත්‍ර සවි කිරීමේ ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය ලබා දී ඇති බවත් ඒ සම්බන්ධ ටෙන්ඩර් පත් කැඳවීම ද අවසන් කර ඇති බවයි.

මේ වන විටත් යෝජිත චීන සමාගමට අනුමැතිය ලබාදීමට කැබිනට් ටෙන්ඩර් කමිටුව තීරණය කර ඇති බැවින් එය අවලංගු කිරීමට තමාට නොහැකි බව අමාත්‍ය ලොකුගේ මහතා පවසයි.

චීන සමාගමට ලබා දුන් ටෙන්ඩරයේ එක කොන්දේසියක් තියෙනවා මෙම ව්‍යාපෘතිය දේශීය සමාගමක් සමග එක්ව ක්‍රියාත්මක කල යුතු ඇති බවයි.

ඒ අනුව අදාළ චීන සමාගම විසින් සොෆ්ට්ලොජික් (softlogic) සමාගම නම් කර ඇති බැවින් එය ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමට ලබා දීමට හැකියාවක් නොමැති බව ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා සඳහන් කරයි.

ටෙලිකොම් සමාගම නොමිලේ කරන්නේ නම් එය හෙට හෝ ලබා දීමට ක්‍රියා කරන බව ඔහු පවසයි.

ආසියානු සංවර්ධන බැංකුවේ ණය ආධාර මත ක්‍රියාත්මක කිරීමට යෝජිත මෙම දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේ යන්ත්‍ර සවි කිරීමේ ව්‍යාපෘතිය වසරක් ඇතුළත ආරම්භ කිරීම සිදු කළ යුතුව ඇති නිසා ඒ සඳහා අවශ්‍ය අවබෝධතා ගිවිසුම (MOU) මේ වසරේදී අත්සන් කිරීමට නියමිතව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.