එන්නත්කරණයට බලපෑම් සිදු නොවීමට ජනාධිපති නියෝග

කෝවිඩ් එන්නත ලබා දීමේ ක්‍රියාවලියට කිසිදු දේශපාලන බලපෑමක් නොමැති බවට සහතික වන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

කැබිනට් සම ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා අද මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේ කොළඹ සහ ගම්පහ වැනි අවදානම් සහිත ප්‍රදේශවල එන්නත්කරණ වැඩසටහන ආරම්භ කර ඇති බවය.

තමන්ට හෝ ඔවුන්ගේ ආශ්‍රිතයින්ට එන්නත් ලබා ගැනීම සඳහා දේශපාලන බලපෑම් භාවිතා කිරීමට කිසිවෙකුට අයිතියක් නැතැයි ඔහු පැවසීය.

එවැනි බලපෑම්වලට යටත් නොවී එවැනි අවස්ථා වලදී ස්වාධීන තීරණයක් ගන්නා ලෙසට ජනාධිපති උපදෙස් ලබා දී ඇති බවත් ඒ ආකාරයෙන් වැඩ කරන ලෙසටත් අමාත්‍ය රමේෂ් පතිරණ සෞඛ්‍ය නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.

කැබිනට් සම ප්‍රකාශක වැඩිදුරටත් කියා සිටියේ රජය එවැනි ක්‍රියා හෙළා දකින බවත් එවැනි කිසිදු සිද්ධියක් සම්බන්ධයෙන් නිල වශයෙන් වාර්තා ලැබී නොමැති බවය.

කෙසේ වෙතත්, මෙවැනි සිදුවීම් වාර්තා වුවහොත් ඊට සම්බන්ධ අයට එරෙහිව රජය පියවර ගන්නා බවද ඔහු පැවසීය. එන්නත් ලබා දීමේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් දේශපාලන බලපෑම් රජය විසින් ප්‍රතික්ෂේප කරන බව අමාත්‍යවරයා නැවත ප්‍රකාශ කළේය.

මේ අතර, හිටපු ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරියගේ එන්නත සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා පිළිබඳ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා කියා සිටියේ මහජනයා අතර විශ්වාසය ගොඩනැගීම සඳහා ඇතැම් ප්‍රමුඛ පුද්ගලයින් එන්නත් ලබා ඇති බවය.

මුලින් එන්නත ලබා දුන්නේ අවදානමට ලක් වූ කණ්ඩායම්වලට පමණක් බවත්, ඉන් අනතුරුව රටේ ඇතැම් ප්‍රමුඛ පුද්ගලයින්ට එන්නත ලබා දී ඇති බවත්, එම එන්නතෙහි ආරක්ෂාව පිළිබඳව මහජනයාට පණිවිඩයක් යැවීමට කටයුතු කළ බවත් ඔහු පැවසීය.

දැනට ක්‍රියාත්මක වන එන්නත් කිරීමේ වැඩසටහනට සෘණාත්මක බලපෑමක් ඇති කළ හැකි විපක්ෂය විසින් එල්ල කරනු ලබන විවේචන වලක්වා ගැනීම සඳහා මෙය සිදු කළ බව අමාත්‍ය රමේෂ් මහතා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.