SLT- MOBITEL වාර්ෂික වාර්තාවට ජාත්‍යන්තර සම්මාන තුනක්

ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ සේවා සැපයුම්කරු වන SLT-MOBITEL සමාගම, තම 2019 වාර්ෂික වාර්තාව වෙනුවෙන් සුවිශේෂී අන්තර්ජාතික සම්මාන තුනක් දිනාගැනීමට සමත්ව තිබේ.

එනම් දකුණු ආසියානු ගණකාධිකාරිවරුන්ගේ සංසදය (SAFA) 24 වැනි වරටත් සංවිධානය කළ හොඳම ප්‍රකාශිත වාර්ෂික වාර්තා/ ඒකාබද්ධ වාර්තාකරණ/ සාක් සංවත්සර සම්මාන උළෙලේදී  ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ 2019 වාර්ෂික වාර්තාව, ‘සන්නිවේදන හා තොරතුරු තාක්ෂණ‘ කාණ්ඩයේ දෙවැනි ස්ථානයට පත්විය. තව ද  2020 ජාත්‍යන්තර ARC සම්මාන උ‍ළෙලේදී, දුරකථන සන්නිවේදන කාණ්ඩයේ ‘වාර්ෂික වාර්තා මුල් පිටුවේ ඡායාරූපය හා නිර්මාණය‘ වෙනුවෙන් ලෝකඩ සම්මානයක්ද, ‘මූල්‍ය දත්ත‘ සඳහා පිරිනැමෙන ගෞරව සම්මානයක් ද සමාගමට හිමිවිය.

දකුණු ආසියානු ගණකාධිකාරීවරුන්ගේ සංගමය සංවිධානය කළ සම්මාන උළෙල, දකුණු ආසියානු කලාපය තුළ මූල්‍ය වාර්තාකරණය වෙනුවෙන් පිරිනැමෙන වටිනාම සම්මාන උළෙල ලෙස පිළිගැනේ. එම සම්මාන උළෙල හරහා ගෙවුණු දශක දෙකකට අධික කාලයක් පුරාවට මූල්‍ය වාර්තාකරණයේ විශිෂ්ටත්වය ඉහළ නැංවීමට ලැබී ඇත්තේ ද සුවිසල් දායකත්වයකි. මේ අතර ARC සම්මාන උළෙල යනු වසර 30ක් පුරා පැවැත්වෙන වාර්ෂික වාර්තාකරණය සම්බන්ධවෙන් පැවැත්වෙන ගෝලීය තරගාවලියකි. එහිදී හිමිවන සම්මාන සඳහා දැවැන්ත ජාත්‍යන්තර පිළිගැනීමක් හිමිවන අතර, වාර්ෂික වාර්තාකරණය තුළ විශිෂ්ට ප්‍රමිතීන් බිහිකිරීමට ද එය දායක වී ඇත.

මෙම ජයග්‍රහණ පිළිබඳ අදහස් දක්වමින් SLT-MOBITEL සමූහ ප්‍රධාන විධායක නිලධාරී ලලිත් සෙනෙවිරත්න මහතා පවසා සිටියේ, “ශක්තිමත් ආයතනික පරිපාලන ක්‍රියාවලියක් සහ කාර්යක්ෂම මූල්‍ය කළමනාකරණ ක්‍රියාපටිපාටියක් සමඟ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමාගමක් ලෙස SLT-MOBITEL සමූහය හැඳින්විය හැකියි. ශ්‍රී ලංකාවේ දැවැන්තම තොරතුරු සන්නිවේදන තාක්ෂණ යටිතල පහසුකම් සැපයුම්කරු වගේම ලාභ උපයන බහුතර රාජ්‍ය හිමිකාරීත්වයක් සහිත සමාගමක් ලෙස අප සමූහයේ මූල්‍ය වාර්තාකරණය සම්පූර්ණයෙන් ම පාරදෘෂ්‍ය ලෙස සිදුවෙනවා. එම විශිෂ්ටත්වය මෙවැනි වටිනා ජාත්‍යන්තර සම්මාන හරහා හොඳින් පිළිබිඹු වෙනවා. SLT-MOBITEL සෑමවිටම ක්ෂේත්‍රය තුළ ඉදිරිගාමී ලෙස කටයුතු කළ සමාගමක්. එම ඉදිරිගාමීත්වය වෙනුවෙන් හිමිවන මෙවැනි අගය කිරීම නිසා තවදුරටත් අධිෂ්ඨානශීලීව ඉදිරියට යාමට අපට විශාල ධෛර්යයක් හිමිවෙනවා, යනුවෙනි.

ශ්‍රී ලංකා ටෙලිකොම්හි 2019 වාර්ෂික වාර්තාව සකස් කෙරුණේ සමාගම පිළිබඳ පුළුල් අවබෝධයක් පිරිනමමිනි.  විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ සන්නිවේදන පහසුකම් ක්ෂේත්‍රය තුළ සාඩම්බර උරුමයකට හිමිකම් කියන SLT-MOBITEL සමූහය ලොව නවීනතම තාක්ෂණය යොදාගනිමින් ශ්‍රී ලංකාවේ තොරතුරු සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රය නූතනත්වය කරා ගෙනඒමට ලබාදී ඇත්තේ අසමසම දායකත්වයකි. එනම් මෙරට පාරිභෝගික අවශ්‍යතා නිවැරදිව හඳුනාගනිමින් විශිෂ්ට නිෂ්පාදන හා සේවා පිරිනැමීමට ද සමාගම් සමූහය ක්‍රියා කර තිබේ. වාර්ෂික වාර්තාව නිර්මාණය කිරීම හා මූල්‍ය වාර්තාකරණය තුළින් ද පිළිබිඹු වන්නේ එම විශිෂ්ටත්වය ම ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.