ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අධ්‍යනයට පියතුමන්ලාගේ කමිටුවක්

ඉන්දික ශ්‍රී අරවින්ද

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව අධ්‍යනය කිරීම සඳහා පුජකතුමන්ලාගෙන් සැදුම්ලත් වෙනම කමිටුවක් පත් කිරීමට අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ට සුදානම් වෙයි.

අගරදගුරු නිවසේ මාධ්‍ය ප්‍රකාශක ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා Colombo Gazette වෙත ප්‍රකාශ කළේ එම කොමිෂන් සභා වාර්තාව අධ්‍යනය කිරීමෙන් අනතුරුව එහි ඇති අඩු පාඩු රජයට පෙන්වා දීමට සුදානම් බවයි.

ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් හරිගුප්ත රෝහණධීර මහතා විසින් ඊයේ (01) පස්වරුවේ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වෙත එම කොමිෂන් සභා වාර්තාව පිළිගන්වනු ලැබීය.

එහෙත් දැනට කතෝලික සභාව විසින් ප්‍රකාශයට පත්කර ඇති “කළු ඉරිදා” දිනයෙහි වෙනසක් සිදු නොවන බව අගරදගුරු නිවසේ මාධ්‍ය ප්‍රකාශක පියතුමන් පවසයි.

පාස්කු ප්‍රහාරයෙන් මියගිය සහ විපතට පත් සියලුදෙනා වෙනුවෙන් යුක්තිය ඉටුනොවීමට විරෝධය දැක්වීමක් ලෙස එම “කළු ඉරිදාව” ප්‍රකාශයට පත්කර ඇති අතර එදිනට කතෝලික ජනතාව කළු ඇඳුමෙන් සැරසී දිව්‍ය පූජාවට සහභාගී වීමට නියමිතය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි බව පවසමින් “කළු ඉරිදාව”ක් ප්‍රකාශයට පත් කිරීමට කොළඹ අගරදගුරු පදවියේ පියතුමන්ලා තීරණය කර තිබේ.

ලබන (07) වැනිදා මෙම “කළු ඉරිදා” ප්‍රකාශයට පත්කර ඇති අතර එමගින් රජයේ අවධානය වැඩි වශයෙන් යොමු කිරීම ප්‍රධාන අරමුණ වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.