ඩිජිටල් ගුණාත්මකභාවයෙන් පහළ රටක් ලෙස ශ්‍රී ලංකාව නම් කෙරේ

අන්තර්ජාල සේවා සපයන සමාගම් විසින් සිදුකෙරෙන ඩිජිටල් මාෆියාවක් නිසා ගුණාත්මකභාවයෙන් පහළ රටක් ලෙස ශ්‍රී ලංකාව ලැයිස්තු ගතකර ඇතැයි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය නිවේදනය කරයි.

ශ්‍රී ලංකාවට ඩිජිටල් ලෝකය ජයගන්නට තිබෙනා ප්‍රධාන බාදාවක් ලෙස මෙම මාෆියාව හේතුවී ඇති බව එම සංගමය පවසයි.

ඒ අනුව අන්තර්ජාල සේවා සපයන සමාගම් විසින් ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ට සපයන අන්තර්ජාල පහසුකම් වලට ගුණාත්මක සේවාවක් ලබානොදීම මෙන්ම පාරිභෝගික අදහස් වලට සවන්දීම පසෙකලා තම අන්තර්ජාල සමාගම් වලට අවශ්‍ය පරිදි පාරිභෝගිකයන් හැසිරවීමක් සිදුකරන අතර මේ සම්බන්ධයෙන් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව නිසි අවධානයක් යොමු නොකරන බවක් දැකගත හැකිය.

විශේෂයෙන්ම ශ්‍රී ලාංකික ප්‍රජාවට අන්තර්ජාල පහසුකම් සැපයීම ආයතන කිහිපයක ඒකාධිකාරයක් බවට පත් කරගැනීමට මෙම ආයතන කටයුතු කර ඇති බව ඉතා පැහැදිලිවම ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට දැකගන්නට ලැබේ.

තවද ශ්‍රී ලාංකික අන්තර්ජාල සේවා සපයන සමාගම් අන්තර්ජාල මූලධර්මයක් වන Net neutrality සංකල්පයෙන් බැහැර වී තම සේවා සැපයීම පරිශීලකයන්, අන්තර්ගතයන්, වෙබ් අඩවි, වේදිකාවන්, යෙදුම්, උපකරණ වර්ග, ප්‍රභව ලිපින, ගමනාන්ත ලිපින හෝ සන්නිවේදන ක්‍රම මත පදනම්ව වෙනස් ලෙස සිදුකරමින් ඇති බව ඉතා කනගාටුවෙන් පෙන්වාදිය හැකිය.

මෙසේ අන්තර්ජාල සේවා සපයන සමාගම් සිදුකරගෙන යනු ලබන ඒකාධිකාරී මාෆියාව හේතුවෙන් රටවල් 85ක් ඇසුරෙන් කරන ලද අන්තර්ජාතික සමීක්ෂණයකින් ඩිජිටල් ගුණාත්මකභාවයෙන් පහළ මට්ටමක රටක් ලෙස ශ්‍රී ලංකාව අවසන් ස්ථානය ලබාගෙන ඇති අතර මෙම තත්වය ශ්‍රී ලංකාවෙහි ඉදිරි ඩිජිටල් ආර්ථිකයේ ප්‍රගමනයට විශාල බාදාවක් ලෙස ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය හඳුනාගෙන ඇත.

“ශ්‍රී ලංකාව ඩිජිටල් ලෝකය ජයගන්න පවතින ඩේටා මාෆියාව විශාල බාදාවක්” යන සිරස්තලය යටතේ 2020 වසරේ පෙබරවාරි 21ක් වනදා නිකුත් කල මාධ්‍ය නිවේදනය මගින් හෙළිදරව් කිරීමට හැකි වී ඇතැයි එම සංගමය විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.