පාස්කු කොමිසමේ වාර්තාව පිළිබද ව සෑහිමකට පත් වීය නොහැකි බවත් පසුගිය යහපාලන රජය විසින් පත් කළ මෙම කොමිසමේ වාර්තාවෙන් ප්‍රහාරයේ මහා මොළකරුවන් පිළිබද තොරතුරු සගවා ඇත්දැයි සැක මතු වන බවත් පාස්කු කොමිසමේ වාර්තාව පිළිබඳ සොයා බැලීම සදහා ජනාධිපතිවරයා පත් කළ කමිටු සාමාජික අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පත් කළ පාස්කු කොමිසමට හෝ එහි නිර්දේශ වලට, වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෝ ආණ්ඩුව කිසිදු බලපෑමක් සිදු නොකළ බවත්, වත්මන් ජනාධිපතිවරයා පත් කළ කමිටුවට පාස්කු කොමිසමේ නිර්දේශ වෙනස් කිරීමේ කිසිදු උවමනාවක් හෝ බලයක් නොමැති බවත් රණතුංග මහතා අවධාරණය කරයි.
උඩුගම්පළ දී පැවති රැස්වීමකින් අනතුරුව මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇමති ප්‍රසන්න රණතුංග මහතා මේ බව
සදහන් කළේය.
“ මේ දවස්වල හැමෝම කථා කරන්නේ පාස්කු කොමිසමේ වාර්තාව ගැන.මේ කොමිසමේ වාර්තාව ගැන අපිටත් ගැටළු තියෙනවා. පාස්කු කොමිසම පත් කළේ අපේ ආණ්ඩුව නෙමෙයි. යහපාලන ආණ්ඩුවවයි.
යහපාලන ආණ්ඩුව පාස්කු ප්‍රහාරය ගැන හොයලා බලන්න පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවකුත් පත් කළා. ඒකේ දී වුණෙත් මේ ප්‍රහාරයේ සැබෑ වගකිවයුත්තන් වසන් කරපු කරලා.මේ කොමිසම් සභාවෙනුත් ප්‍රහාරයේ මහ මොළකරු හොයාගත්තේ නැද්ද? නැත්නම් ඒක වසන් කළාද? කියලා අපිටත් ප්‍රශ්නයක් තියෙනවා. මේ වාර්තාව ගැන සෑහිමකට පත්වෙන්න බෑ.
මේ කොමිසම් සභා වාර්තාවේ වගකීම එදා ආණ්ඩුවේ හිටපු, අද විපක්ෂයේ ඉන්න උදවිය මේ ආණ්ඩුව පිට පටවන්න හදනවා. ඔවුන් හදන්නේ ඒ පාපයත් අපේ පිටට දාන්න.
මෛත්‍රී ජනාධිපතිවරයා පත්කළ කොමිසම ගෝඨාභය ජනාධිපතිවරයා පත් වුණාම වෙනස් කළේ නෑ.කොමිසමට කිසිදු බලපෑමක් කළේත් නෑ. මේ හින්දා පාස්කු ප්‍රහාරයට වගේම කොමිසමේ වාර්තාවේ වගකීමෙනුත් පහුගිය ආණ්ඩුව නියෝජනය
කළ කිසිවෙකුටත් ගැළවෙන්න බෑ. පාස්කු ප්‍රහාරයට රනිල්, මෛත්‍රී, සජිත් සමස්ථ ආණ්ඩුවම වග කියන්න ඕනේ.
සජිත් ඇතුළු විපක්ෂය මේ වාර්තාව එළියට දමන්න යැයි කෑ මොර දුන්නා. දැන් එය ඉදිරිපත් කරපුවාම නිර්දේශ වල වගකීමත් අපේ පිට දාන්න හදනවා. ඒ වගේම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පත් කරපු කොමිසමේ වාර්තාව ඔහු සභාපතිධූරය දරණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රතික්ෂේප කිරීමත් එක්තරා අන්දමකින් විහිළුවක්” රණතුංග අමාත්‍යවරයා අවධාරණය කරයි.
මෙම කමිටුව අවස්ථා දෙකක දී රැස්වී ඇති අතර මෙම කමිටුවේ වාර්තාව ජනාධිපතිවරයා වෙත ඉදිරියේදී වෙත භාරදීමට නියමිතව ඇත.