ඉන්දික ශ්‍රී අරවින්ද
කොවිඩ් – 19 ආසාදිතව මිය ගිය ඇතැම් මුස්ලිම් ජාතිකයින්ගේ මෘත දේහයන් කිහිපයක්ම ඥාතීන්ගේ මෙන්ම භාරකරුවන්ගේ කැමැත්ත පරිදි පසුගිය දින කිහිපය තුළදීම ආදාහනය කළ බව කොළඹ මහ නගර සභාවේ සෞඛ්‍ය අංශ පවසයි.
ඒ අනුව එම මෘත දේහයන් ආදාහනය කිරීම සඳහා අවශ්‍ය මිනි පෙට්ටි පවා මියගිය අයගේ පවුලේ ඥාතීන් විසින් වෙනම මිළදී ගෙන භාර දී තිබු බවයි සෞඛ්‍ය අංශ ප්‍රකාශ කළේ.
මෙහිදී කොවිඩ් ආසාදිතව මියගිය මුස්ලිම් ජාතිකයින්ගේ පවුලේ ඥාතීන් කොළඹ මහ නගර සභා සෞඛ්‍ය අංශ වෙත දැනුම් දී ඇත්තේ එම මෘත දේහයන් අධි ශීතකරණ කන්ටේනර් බහාලුම් තුළ තැන්පත් කර තැබීමට තමන් විරුද්ධ බවත් සෞඛ්‍ය නිරෝධායන නීතියට අනුව ආදාහනය කරන ලෙසයි.
එහෙත් ඥාතීන් සහ භාරකරුවන් ඉදිරිපත් නොවූ මුස්ලිම් ජාතික කොවිඩ්-19 ආසාදිත මළ සිරුරු භූමිදානය කිරීම සම්බන්ධයෙන් නිශ්චිත තීරණයක් ලබා දෙන තෙක් මළ සිරුරු කිහිපයක්ම කොළඹ අධිකරණ වෛද්‍ය නිළධාරී කාර්යාලය භාරයේ අධිශීත කල කන්ටේනර් බහාලුම් තුළ සුරක්ෂිතව තවදුරටත් පවතින බව එම සෞඛ්‍ය අංශ පවසයි.