ඉන්දික ශ්‍රී අරවින්ද
කොරෝනා වෛරසය මර්දනය කිරීම සඳහා තවත් දේශීය ඖෂධයක් නිර්මාණය කර ඇතැයි රිටිගල දේවේන්ද්‍ර වෙද මහතා සඳහන් කරයි.
රාවණා වෙද පරපුරේ සිට පැවත එන පුරාණ රන් හා රිදී සන්නසකින් සහ පුස්කොළ පොතකින් ලබා ගත්තේ යැයි කියන මෙම ඖෂධය වසර අවුරුදු 9500 ක් පමණ පැරණි යයිද රිටිගල දේවේන්ද්‍ර වෙද මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් සදහන් කර තිබේ.
දැනටමත් ප්‍රභූන් ඇතුළු කිහිප දෙනෙකුට මෙම ඖෂධය ලබා දී ඇති බවත් ඉතා සාර්ථකව එය ක්‍රියාත්මක වන බවත් ඔහු පවසයි. ඉදිරියේදී මෙම ඖෂධය මුළු ලක්වාසීන්ටම නොමිලේ ලබා දීමට සූදානම් බව පවසන වෙද මහතා ඒ සම්බන්ධයෙන් දැනටමත් දේශීය වෛද්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා සමගින් සාකච්චා කරමින් සිටින බවත් කියා සිටියේය.
විජයබා රජ දවසේ සිට පැවත එන මෙම ඖෂධය සඳහා බිම් කොහොඹ,මී පැණි ඇතුළු දේශීය ඖෂධ වර්ග යොදා සකස් කර ඇති බව ඔහු පවසයි. මෙම ඖෂධය හඳුන්වා දීම සඳහා මුලිකත්වය ගෙන කටයුතු කරන්නේ ජනාධිපතිවරයා,අග්‍රාමාත්‍යවරයා සහ දේශීය වෛද්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා බව රිටිගල දේවේන්ද්‍ර වෙද මහතා එම මාධ්‍ය හමුවේදී පවසා ඇත.