ධීවර කර්මාන්තය නඟා සිටුවීමට වැඩ පිළිවෙලක් රජය විසින් සුදානම් කර ඇති බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පැවසිය.
රට වටේට මුහුද තියනවා. හැබැයි අපි තවමත් පිට රටින් මාළු අරගන එනවා. අපේ මුහුදේ තියන මාළු ටික වෙනත් අය අරගන යනවා. මේක නැවැත්වීමට අපි දැන් පියවර ගන්නවා. ජනතාවට අවශ්‍ය මාළු ටික සපයන්න විතරක් නෙවෙයි, අපිට විදේශ මුදල් ලබා ගැනීම සදහා මාළු පිටරට යැවීමට අපි කටයුතු කරනවා යනුවෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා වැඩි දුරටත් සදහන් කළේය.
හිටපු ජනපති, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් තංගල්ල, රැකව ධීවර නැංගූරම්පොළ සහ මාවැල්ල නැංගුරම්පොළ ඉදිකිරීමේ සමාරම්භක උත්සවය ඊයේ පැවැත්විය. ධීවර ආම්පන්න බෙදා දීමක් ද එහිදී සිදු කෙරුණ අතර රැකව ධීවර නැංගුරම්පොළ ඉදිකිරීම සඳහා ඇස්තමේන්තුගත මුදල මිලියන 379 කට අධිකය. මාවැල්ල නැංගුරම්පොළ ඉදිකිරිම සඳහා යෝජිත පිරිවැය රුපියල් මිලියන 380 කි.
එමෙන්ම ගන්ධර ධීවර වරායේ ඉදිකිරීම් කටයුතු ද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ 2020.12.06 දින ආරම්භ විය. යෝජිත ධීවර වරාය තුළ මීටර් 300 කින් යුතු ප්‍රධාන දියකඩනයකින් සැදුම්ලත් වරාය තුළින් බහුදින යාත්‍රා 400 පමණ ධීවර කටයුතු සඳහා සෙත සැළසෙනු ඇත. යෝජිත ධීවර වරාය ඉදි කිරීම තුළින් විශාල ධීවරයින් පිරිසකට ජීවනෝපාය සැලසෙන අතර ඒ තුළින් ධීවර ප්‍රජාවගේ ධීවර කටයුතු වඩා ඵලදායී වනු ඇත.
මාස 36 කින් මෙහි ඉදි කිරීම් අවසන් කිරීමට නියමිත අතර ඇස්තමේන්තුගත පිරිවැය රුපියල් මිලියන 6667 කි.
එහිදී අග්‍රාමාත්‍යතුමා මෙලෙස අදහස් පළ කළේය,
ගන්දර ධීවර වරාය ඉදිකිරීමේ සමාරම්භක අවස්ථාවට මා අද එක්වන්නේ ඉතාම සංතෝෂයෙන්. අපි ඉතිහාසය පුරා ධීවර ප්‍රජාව වෙනුවෙන් කළ මෙහෙවරට අද තවත් අලුත් පරිච්ඡේදයක් එක්වෙනවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා, රට හමුවේ තැබු සෞභාගයේ දැක්ම ප්‍රතිපත්ති මාලාවේ පැහැදිලිව ධීවර ප්‍රජාවේ දියුණුව අපේක්ෂා කර තිබෙනවා. මුළු රටේම ධීවරයන් නගා සිටුවමින් ඔවුන්ගේ පවුල ශක්තිමත් කිරීමත් එහි අන්තර්ගතයි. ගන්දරට විශාල අඩුවක්ව තිබුණෙ ධීවර වරායක් ඉදිකර ගැනීම, මේ ප්‍රදේශයට ධීවර වරායක් ලැබෙනවිට එමඟින් ධීවර ප්‍රශ්න රාශියක් නිරාකරණය වෙනවා.
ධීවරයා රැකගත යුතුයි කියන ස්ථාවරයේ අපි කවදත් හිටියා.
ඒ නිසාම ඉතිහාසය දන්න අය දන්නවා රාජපක්ෂවරුන් සහ ධීවරයන් අතර බැදීම කොතරම්ද කියලා. ලංකාව තුළ ධීවර වරායන් වැඩිම ගණනක් ඉදි කළේ 2005-2015 අපේ ආණ්ඩු කාලයේදි. ඒ කාලයෙදිත් අද වගේම ධීවරයින් වෙනුවෙන් දෙන්න පුළුවන් උපරිම සහන දෙන්න අපි කටයුතු කළා. ධීවරයන්ට තාක්ෂණික දැනුම දුන්නා. දැන් අපට අවශ්‍ය වන්නේ එතැනින් ඉදිරියට ඔබව රැගෙන යාමයි.


