මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු ගමගේ විසින් මාතලේ නගරාධීපති ඩල්ජිත් අලුවිහාරේ එම ධූරයෙන් පහ කරනු ලැබ ඇත. ඊට අදාළ ගැසට් නිවේදනය පළාත් ආණ්ඩුකාරවරයා විසින් ඊයේ (2) නිකුත් කරනු කළේය.
මාතලේ නගරාධිපති ඩල්ජිත් අලුවිහාරේට එරෙහිව චෝදනා රැසක් එල්ල වී තිබූ අතර ඒ හේතුවෙන් ඔහුගේ නගරාධිපති ධූරය මීට පෙර මාස තුනක කාලයකට අත්හිටුවා නියෝජ්‍ය නගරාධිපතිවරයා ධුරයේ වැඩ බැලීම සදහා පත්කර තිබිණි.
මාතලේ මහ නගර සභාවේ නගරාධිපතිවරයා වශයෙන් කටයුතු කළ ඩල්ජිත් අලුවිහාරේ මහතාට එරෙහිව ඉදිරිපත් ව තිබු චෝදනා සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයේ වාර්තාව විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු කුසලා සරෝජිනී වීරවර්ධන මහත්මිය විසින් පසුගිය 24 දා මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතා වෙත භාරදෙන ලදී.
ඒ අනුව අදාල වාර්තාවේ ඇතුලත් කරුණු මත පදනම්ව මාතලේ මහ නගර සභාවේ නගරාධිපතිවරයා සිය ධූරයේ කාර්යයන් හා කර්තව්‍යයන් ඉටු කිරීමේදී මහ නගර සභා ආඥාපනතේ (252 අධිකාරිය) 277 (I)(අ), (ඇ).(ඈ) සහ (ඉ) වගන්ති වල සදහන් වැරදි සිදුකර ඇති බවට සාක්ෂි පවතින බැවින්, මහා නගර සභා ආඥා පනත යටතේ පළාත් ආණ්ඩුකාරවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව 2020.12.02 දින සිට මාතලේ මහ නගර සභාවේ නගරාධිපති ඩල්ජිත් නන්දලාල් අළුවිහාරේ මහතා සිය ධූරයෙන් පහකර ඇත.