ඉන්දික ශ්‍රී අරවින්ද
පෑලියගොඩ නව මැනින් වෙළඳ සංකීර්ණය තුළ වෙළඳ සැල් හිමියන් අතර පවතින වෙළඳ සැල් බෙදාගැනීමේ ගැටළුකාරී තත්වයක් නිසා එය වෙළඳ කටයුතු සඳහා විවෘත කිරීම තවත් සති 2 කින් පමණ කල් යාමට ඉඩ ඇති බව දැනගන්නට ඇත.
එයට ප්‍රධානතම හේතුව වී ඇත්තේ වෙළඳ සැල් හිමියන් තමන්ට අවශ්‍ය වෙළඳ සැල් අවිදිමත් ලෙස වෙන්කර ගැනීම නිසා මෙලෙස අර්බුදකාරී තත්වයක් නිර්මාණය වී ඇති බවයි. එළවළු,පළතුරු ,මාංශ,තොග වෙළඳ සහ ග්‍රොසරි යන අංශයන් සඳහා වෙන වෙනම කාණ්ඩ කිහිපයක් යටතේ කුසපත් ඇදීමකින් පසුව වෙළඳ සැල් ලබාදීමට දැනට යෝජනා වී ඇත.
මේ සම්බන්ධයෙන් කළ විමසුමකදී නිව් මැනින් පොදු වෙළඳ සංගමයේ සභාපති ලාල් හෙට්ටිගේ මහතා ප්‍රකාශ කළේ වෙළඳ සැල් බෙදාදීම සම්බන්ධව දැනට ගැටළුකාරී තත්වයක් මතුවීම නිසා වෙළඳ සැල් බෙදාදීම තාවකාලිකව අත්හිටුවා ඇති බවයි.
එහෙත් වෙළඳ සැල් ලබාදීමේ කටයුතු කුසපත් ඇදීමකින් ලබා දීමට යෝජනා වී ඇති අතර එය ලබන සඳුදා සිට කාණ්ඩ වශයෙන් ආරම්භ කිරීමට නියමිතව ඇති බව ලාල් හෙට්ටිගේ මහතා පැවසිය. පෑලියගොඩ නව මැනින් වෙළඳ සංකීර්ණය තුළ වෙළඳ සැල් 1200 ක් ඉදිකර ඇත.
මේ අතර පිටකොටුවේ තොග වෙළඳ සැල් හිමියන් පවසන්නේ පෑලියගොඩ නව මැනින් වෙළඳ සංකීර්ණය තවදුරටත් විවෘත නොකිරීම නිසා තමන්ට විශාල පාඩුවක් සිදු වී ඇති බවයි. මේ වනවිට පිටකොටුවේ පැවැති තම තොග ව්‍යාපාරයන් ඉවත්කර ගෙන පෑලියගොඩ නව මැනින් වෙළඳ සංකීර්ණය වෙත රැගෙන ආ නමුත් එහි ඇති ගැටළුසහගත තත්වය නිසා තම ව්‍යාපාරයන් ආරම්භ කිරීමට නොහැකි වී ඇත.