පියයුරු පිළිකා හා ගැබ්ගෙල පිළිකා ශ්‍රී ලංකාවේ කාන්තාවන් අතර වඩාත් ම සුලබ පිළිකා වර්ගයයි. පියයුරු පිළිකා සැත්කම්වලින් පසු බාහුවෙහි ඇති වන වේදනාව නිසා කාන්තාවෝ අත චලනය කිරීමට මැලිකමක් දක්වති. එසේම, සැත්කම් තුවාලය පෑරෙනු ඇතැයි බියට ද පත්වෙති. ඒ සඳහා පිළියමක් ලෙස ශල්‍ය කර්මයෙන් පසු පැළඳීම සඳහා පියයුරු කුෂන් පළඳනාවක් නිර්මාණය කර තිබේ.
එමගින් කාන්තාවන්ට ශාරීරික මෙන් ම මානසික සහනයක් ද ලැබේ. අත චලනය කිරීමට හැකි වීමෙන් පශ්චාත් ශල්‍ය කර්ම සංකුලතාවක් වන ලිම්ෆඩීම හෙවත් පියයුරු ඉවත් කිරීමේ ශල්‍ය කර්මයෙන් පසු කිහිල්ලේ සිදු වන වසා ගැටිති ඉදිමීම අවම කරගත හැකි ය.
පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් කිරීමේ මාසය සංකේතවත් කරනු පිණිස, පියයුරු කුෂන් පළඳනා අඛණ්ඩව සැපයීම සඳහා එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල විසින් මෑතදී Zonta club II වෙත ආධාර කරන ලදී.
එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ ශ්‍රී ලංකා නියෝජිත රිට්සු නකෙන් මහත්මිය එම ආධාරය Zonta club II සභාපති මේනකා ගල්ගමුව මහත්මිය වෙත පිරිනමන ලද අවස්ථාව ඡායාරූපයේ දැක්වේ.
එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ සහකාර නියෝජිත මධූෂා දිසානායක මහත්මිය, ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සුජාතා සමරකෝන් මහත්මිය සහ Zonta club II පාලක මණ්ඩල අධ්යක්ෂ ශ්‍යාමා පෙරේරා මහත්මිය ද එම අවස්ථාවට සහභාගී වූහ