යාපනය නගර සභා අලුත් බලකායේ නිල ඇඳුම කොටි පොලිස් නිල ඇඳුමට සමානයි

යාපනය මහ නගර සභාව නගර ආරක්ෂණය සඳහා පිහිටුවා ඇති බව කියන නව ඒකකය සහ එහි නිළ ඇඳුම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ඒ අනුව මේ වන විටත් නගරාධිපතිවරයා, නාගරික කොමසාරිස්වරයා ඇතුළු පාර්ශව කිහිපයකින් ප්‍රකාශ ලබා ගැනීමටයි යාපනය පොලීසිය පියවර ගෙන ඇත්තේ.

යාපනය නගරයේ අවිධිමත් ලෙස කසල බැහැර කිරීම් ඇතුළු නගරය අපවිත්‍ර කිරීම් සම්බන්ධයෙන් පියවර ගැනීමටයි පසුගිය දා යාපනය මහ නගර සභාව මගින් මෙම ඒකකය ඇති කරනු ලැබුවේ.

එම ඒකකයට ප්‍රධාන නිලධාරීන් ලෙස පුද්ගලයන් 5 දෙනෙකු බඳවාගෙන තිබේ.

නිල් පැහැති කමිසයක් සහ තද නිල් පැහැති කලිසමක් නිළ ඇදුම සඳහා ඔවුන්ට ලබාදී ඇති අතර, දකුණු අතෙහි නගර සභාවේ ලාංඡනය සටහන් කර ඇත.

ඒ අනුව අවිධිමත් ලෙස කසල බැහැර කිරීම ඇතුළු නගර අපවිත්‍ර කිරීම සම්බන්ධයෙන් රුපියල් 5000සේ සිට 10,000 දක්වා දඩ නියම කිරීමට ද මහ නගර සභාව තීරණය කර තිබේ.

මෙම ඒකකයට ලබාදී ඇති නිළ ඇදුම සම්බන්ධයෙන් සැක මතු කරමින් පාර්ශව කිහිපයක් යාපනය පොලීසියට පැමිණිලි කිරීම නිසා මෙලෙස පොලිස් පරීක්ෂණ ආරම්භ කර ඇත්තේ.

යාපනය නගරයේ පිරිසිදු බාවය ආරක්ෂා කරගැනීම සඳහා පස් දෙනෙකුගෙන් යුත් නගර සභා ආරක්ෂණ බලකායක් ආරම්භ කල බවට යාපනය නගරාධිපති විශ්වලිංගම් මණිවන්නන් මහතා පවසයි.

කෙසේ වෙතත් අදාල මහ නගර සභාබලකාය පිහිටුවීම සම්බන්ධයෙන් සහ අදාල ඒකකයේ කාර්යභාරය පිලිබඳව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා නගර සභා නිලධාරීන්ට යාපනය පොලීසියට පැමිණෙන ලෙසටද දැනුම් දී තිබුණි.

එමෙන්ම පස් දෙනෙකුගෙන් යුත් නගර සභා බලකායේ නිලඇඳුම යුද සමයේ එල්.ටී.ටී.ඊ. පොලිසියට අයත් පොලිස් නිලධාරීන් විසින් භාවිතා කරන ලද නිලඇඳුමට සමාන කමක් ඇති බවටද යාපනයේ ජනතාව පවසයි.

අදාල බලකාය පිහිටුවීම සම්බන්ධයෙන් යාපනය මහනගරාධිපති විශ්වලිංගම් මණිවන්නන් මහතා පවසා සිටියේ යාපනය නගරයේ ප්‍රධාන වීදි අපවිත්‍ර කරන්නන්ට එරෙහිව නීතිමය පියවර සහ දඩ මුදලක්ද නියම කිරීමට සූදානමක් ඇති බවටත් එහිදී මාර්ගයේ බුලත් විට කෙල ගසන්නන්, විවිධ අයුරින් මාර්ගයන් අපවිත්‍ර කරන්නන් ,සෞඛ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය නොකිරීම හා පොදු ස්ථාන වල අනවසරයෙන් වාහන නැවත්වීම් වැනි කරුණු වෙනුවෙන් රුපියල් 1000 සිට රුපියල් 5000 ක් දක්වා දඩ මුදලක් නියම කිරීමේ සුදානමක් පවතින බවයි.

එමගින් යාපනය දිස්ත්‍රීක්කයේ පවතින කොරෝනා අවධානම මැඩපැවත්වීමත් නගරය පිරිසිදුව තබාගැනීමටද හැකිවන බවට යාපනය මහනගරාධිපති විශ්වලිංගම් මණිවනන් මහතා වැඩිදුරටත් අවධාරණය කරයි.

එමෙන්ම යාපනය නගරය තුළ රථ වාහන හැසිරවීම ඇතුලු රාජකාරි සඳහා වෙනම කණ්ඩායමක් යොදවා ඇති බවට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කිංග්ස් නෙල්සන් මහතා අද (08) පාර්ලිමේන්තුවේදී ද අනාවරණයක් සිදුකලා.

අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ඊට ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ අද (08) සවස පැවැත්වෙන ආරක්ෂක අමාත්‍යංශයේ උපදේශක කාරක සභාවට පැමිණ මේ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කරන ලෙසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.