පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ වැරදිකරුවන් වන පුද්ගලයන්ට සහ කණ්ඩායම්වලට නීතියෙන් ගැලවීමට කිසිදු ඉඩක් නොතබන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ නැවත එවන් ඛේදාන්තයන්ට කවර හෝ අවසරයක් නොලැබෙන පරිදි ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට රජය වග වී සිටින බවත් ශ්‍රී ලාංකේය කිතුනු ජනතාව අසීමිත ගෞරවයෙන් හා භක්තිවන්තව සමරන පාස්කු සමය අන්තවාදී ම්ලේච්ඡ ප්‍රහාරයකට වරෙක ගොදුරු වූ බවත් ඉන් බිඳුණු හදවත්වල වේදනාව අදටත් මැකී ගොස් නොමැති බවත් ජනාධිපතිවරයා පවසයි.
පාස්කු දින ප්‍රහාරයේ වින්දිතයන් වූ සැමට සාධාරණය ඉටුවන තෙක් වූ කිතුණු ජනතා ඉවසීම විශිෂ්ට බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද පවසයි. දෙවසරක් ගතවන පාස්කු දින ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් පළ කරමින් අග්‍රාමාත්‍යවරයා පැවසුවේ මීට වසර දෙකකට පෙර, 2019 අප්‍රේල් 21 වැනිදා පාස්කු මංගල්‍ය දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් කුඩා දරුවන් ඇතුළු කිතුණු බැතිමතුන් දෙසිය පනහකට අධික පිරිසකගේ ජීවිත අහිමු වූ බවත් මෙම මිලේච්ඡ ප්‍රහාරය එදා මෙන්ම අදත් අප තරයේ හෙළා දකින බවය.
එමෙන්ම පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරයට වගකිවයුත්තන් නීතිය හමුවට ගෙන ඒමේ පරීක්ෂණ රජයක් ලෙස මේ දක්වා අඛණ්ඩව ඉටු කර බවත් කිතුණු ජනතාව බලාපොරොත්තුවන පරිදි ප්‍රහාරයට වගකිවයුත්තන් නීතිය හමුවේ වරදකරුවන් වනතුරු එම පරීක්ෂණ ක්‍රියාවලිය කිසිඳු බලපෑමකින් තොරව ක්‍රියාත්මක වන බවද පාස්කු දින පණිවිඩය නිකුත් කරමින් පවසයි.
මේ අතර පාස්කු දින පණිවිඩයක් නිකුත් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසන්නේ පාස්කු ප්‍රහාරයේ මහ මොලකරුවන් සොයා ගැනීමේ වගකීමෙන් කිසිවෙකුටත් බැහැරවිය නොහැකි බවත් එම පරීක්ෂණ විශ්වාසනීයත්වය, විනිවිද පෙනෙන ආකාරය සහ කඩිනම් බව මත පිහිටා සිදු විය යුතු බවයි විපක්ෂ නායකවරයා පෙන්වා දෙයි.