දුන් සහන නිසා සතොස වාර්තාගත අලෙවියක් සනිටුහන් කරයි

භාණ්ඩ රැසක මිළ පහත හෙලමින් දිවයින පුරා සියලුම සතොස අලෙවිසැල්වලින් ලබන සඳුදා සිට නව මිලගණන් යටතේ භාණ්ඩ මිලදී ගැනීමේ හැකියාව ඇත. ලබන සතියේ සිට දේශීයව නිෂ්පාදිත දුඹුරු සීනි කිලෝග්‍රෑම් 01ක් රුපියල් 115ක මිලකට සතොස ශාඛා හරහා අලෙවි කිරීමට කටයුතු කරන බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

රු.165 – 150ට අලෙවි වන දුඹුරු සීනි කිලෝවක් රු.115කට සුදු සීනි කිලෝවක් රු 99කට සතොසෙන් ලබා ගත හැකිය. දිවයිනේ සෑම සතොස අලෙවි සැලකින්ම ලබන සඳුදා සිට එම නව මිල ගණන් යටතේ එම භාණ්ඩ මිලදී ගත හැකි බව වෙළෙඳ ආමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

වාණිජ සංස්ථාව නිෂ්පාදනය කරන තේ කොළ ග්‍රෑම් 100ක පවතින මිල රුපියල් 135ක් වුවද ලබන සඳුදා සිට එම තේ කොළ ග්‍රෑම් 100ක් අලෙවි කෙරෙන්නේ රුපියල් 95කට ය. දැනට රුපියල් 550ක පමණ මිලකට අලෙවි කෙරෙන සෝයා තෙල් මිලි ලීටර 500ක් රුපියල් 310කටද , රුපියල් 350කට අලෙවි කෙරෙන අත් සේදුම්කාරක දියර මිලිලීටර් 100ක බෝතලයක් රුපියල් 250 දක්වා අඩු කෙරෙන බව අමාත්‍යවරයා පවසයි. අත් සේදුම්කාරක දියර මිලලීටර් 50ක් රුපියල් 150 තෙක් අඩු කර තිබේ.

SLS සහතිකය සහිත මුහුණු ආවරණයක නව මිල වන්නේ රුපියල් 14කි. එමෙන්ම අභ්‍යාස පොත්වල දැනට පවතින මිලට වඩා සියයට 20ක් අඩුවෙන් අලෙවි කෙරේ. එමෙන්ම සතොස හරහා ලබා දෙන සහන මල්ල හේතුවෙන්, ආරම්භයේ සිට මේ දක්වා වාර්තා කරන ලද වැඩිම අලෙවිය ඊයේ දිනයේදී සතොස අලෙවිසැල් ජාලය විසින් වාර්තා කළ බවත්, වැඩිවන ඉල්ලුමට සරිලන සැපයුමක් ලබා දීම සඳහා හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගැනීමට සතොස සභාපතිවරයාට උපදෙස් ලබා දී ඇති බවත් අද දින වෙළෙඳ අමාත්‍යාංශයේදි පැවති මාධ්‍ය හමුවක් සඳහා එක් වෙමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

කොවිඩ් වසංගතයෙන් සියළු රටවල් වන සැපයුම් ජාලය අඩාල වී ආර්ථිකය සංකෝචනය වී පැවතිය ද මෙරට ආර්ථිකය නඟා සිටුවීමට සියළු රජයේ අමාත්‍යාංශය එක්ව කටයුතු කිරීම තුළ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය, කර්මාන්ත අමාත්‍යාංශය මෙන්ම අනෙකුත් නිෂ්පාදන සඳහා වන අමාත්‍යාංශයන් මඟින් දිරි ගැන්වෙන නිෂ්පාදනයන් සඳහා වෙළෙඳ අමාත්‍යාංශය යටතේ ඇති රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාව, සතොස, සමූපකාර අලෙවිසැල් ජාලය වැනි ආයතන හරහා ඍජු වෙළෙඳපොලක් සකසා ඇති ආකාරය පැහැදිලි කළ අමාත්‍යවරයා පසුගිය රජය විසින් ඈවර කිරීමට නියමිතව තිබූ BCC ආයතනය අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ මූලිකත්වයෙන් යුතුව නැවත නඟා සිටුවීමටත් නැවත ලාභ ලැබීමේ ආයතනයක් බවට පත් කිරීමටත් ලද හැකියාව මත මේ දිනවල බරපතල ලෙස පැන නැගී ඇති ආනයනිත පොල්තෙල් ගැටළුවට විසඳුමක් වශයෙන් BCC ආයතනය මඟින් දේශීයව නිෂ්පාදිත පොල්තෙල් ගුණත්වයෙන් ඉහළව, සාධාරණ මිළට හා රජයේ වගකීමෙන් යුතුව සතොස අලෙවිසැල් ජාලය හරහා බෙදාහැරීමට හැකියාව ලද බව ද පැවසුවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.