චීන “සයිනොෆාර්ම්” එන්නතත් සමග අතුරු ආබාධ 73ක් ශ්‍රී ලංකාවට ප්‍රදානය කරයි

ආන්දෝලාත්මක චීන එන්නතේ හෙළිදරව්ව

ඉන්දික ශ්‍රී අරවින්ද

WHO අනුමැතිය නොමැති එන්නත් ප්‍රදානයක්

මේ වනවිට මහත් ආන්දෝලනයකට ලක්ව ඇති චීනයේ නිෂ්පාදන ‘සයිනොෆාර්ම්’ කොවිඩ් මර්ධන එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) නිසි අනුමැතිය පවා ලබා නොදුන් පසුබිමක් තුළ එය මෙරටට ප්‍රධානය කරනු ලැබුවේ ජනාධිපතිවරයාගේ ඉල්ලීමකට අනුව බව සෞඛ්‍ය අංශ පවසයි.

එහෙත් මේ සඳහා ජාතික ඖෂද නියාමන අධිකාරියේ (NMRA) පවා නිසි ක්‍රමවේදයට අනුව අනුමැතියද ලබා දී නොමැති බව සඳහන් වෙයි.

එවැනි පසුබිමක් තුළ මෙලෙස චීන එන්නත් තොගයක් නොමිලේ ප්‍රදානය කිරීමට චීන රජය මෙතරම් උනන්දුවක් දක්වන්නේ ලංකාවත් සායනික පරීක්ෂණයේ කොටසක් ලෙස යොදා ගැනීමේ අරමුණකින්ද බව පැහැදිලි නැත.

මෙම එන්නත ශ්‍රී ලංකාවට ලබා ගැනීම පිටුපස අදිසි හස්තයක් ක්‍රියාත්මක වන බව සෞඛ්‍ය අංශයේ පාර්ශව කිහිපයක් ද කරුණු දක්වයි.

එලෙස සායනික පරීක්ෂණයක් සඳහා ශ්‍රී ලාංකිකයින් යොදාගෙන පරීක්ෂණ කරන්නේ නම් වෙනම රක්ෂණ ආවරණයක් යටතේ සිදුකළ යුතුය.

ඒ මන්දයත් යම් ලෙසකින් හෝ එම එන්නතෙන් අතුරු ආබාධ හෝ සන්කුලතාවයකින් මිනිස් ජිවිතයට හානියක් සිදු වුවහොත් ඒ සඳහා වන්දියක් ලබා ගැනීම පිණිසය.

චීන එන්නත දුන්නේ ජනාධිපතිගේ ඉල්ලීමකට අනුවයි

චීනය විසින් නිපදවූ “සිනොෆාර්ම්” එන්නත ඊයේ (31) දින මෙරටට ප්‍රදානය කිරීම සිදු වුයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි.

චීන රජය ප්‍රදානය කළ මෙම කොවිඩ් මර්දන එන්නත් තොගය චීන තානාපති චී.ජෙන්හොන් (Qi Zhenhong) මහතා විසින් කොළඹ බණ්ඩාරනායක අන්තර් ජාතික ගුවන් තොටුපොළේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත නිල වශයෙන් භාරදෙනු ලැබීය.

ජනාධිපතිවරයා චීන ජනාධිපති ෂී ජිං පින් මහතාගෙන් කළ ඉල්ලීම අනුව එන්නත් මාත්‍ර ලක්ෂ 6ක තොගයක් මෙලෙස ශ්‍රී ලංකාවට ප්‍රදානය කෙරුණ අතර චීනයේ බීජිං අගනුවර ජාතික බයෝටෙක් ඖෂධ සමාගම “සිනොෆාර්ම්” කොවිඩ් මර්ධන එන්නත නිෂ්පාදනය කර තිබේ.

එම එන්නත මෙරට සිටින චීන ජාතිකයන්ට එන්නත් කිරීම ලබන සඳුදා සිට ආරම්භ කෙරෙන අතර ශ්‍රී ලාංකීය ජනතාවට එන්නත් ලබාදීම විශේෂඥ කමිටුවක අධ්‍යයනයෙන් පසු සිදු කෙරෙන බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) පවසයි.

කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජේමුණි මහතා Colombo Gazette වෙත ප්‍රකාශ කළේ කොළඹ නගර සිමාව තුළ පමණක් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සේවය කරන ඉංජිනේරු,තාක්ෂණික මෙන්ම කම්කරු චීන ජාතිකයින් 4000ක පමණ පිරිසක් රැඳී සිටින බවයි.

මෙම එන්නත එන්නත් කිරීම චීන ජාතිකයින්ටද ප්‍රතික්ෂේප කිරීමේ හැකියාවක් පවතින අතර ප්‍රථමයෙන් චීන ජාතිකයින් කිහිප දෙනෙකුට එන්නත් කිරීමෙන් අනතුරුව මෙරට පුරවැසියන්ට ඉතා සුක්ෂම ලෙස එන්නත් කෙරෙනු ඇත.

මේ වනවිට මෙරට කොළඹ සහ හම්බන්තොට දිස්ත්‍රික්ක තුළ අනුමාන වශයෙන් චීන ජාතිකයින් 5000කට ආසන්න පිරිසක් රැඳී සිටිනු ඇතැයි විශ්වාස කෙරයි.

චීන එන්නතට ජාතික ඖෂද නියාමන අධිකාරියේ අනුමැතිය නොමැත

මේ සම්බන්ධයෙන් පසුගිය දා පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවකදී සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කළේ චීන “සිනෝෆාර්ම්” එන්නත ශ්‍රී ලාංකිකයින්ට ලබා දීම සඳහා තවමත් අනුමත කර නොමැති බවයි.

වෛද්‍ය රමේෂ් පතිරණ මහතා කියා සිටියේ ශ්‍රී ලංකාවේ “සීනෝෆාර්ම්” එන්නත භාවිතා කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) අනුමැතිය අපේක්ෂාවෙන් ශ්‍රී ලංකා රජය බලපොරෝතුවෙන් සිටින බවත්ය.

මෙම එන්නත මුලින් ලබා දෙන්නේ ශ්‍රී ලංකාව පදනම් කරගත් චීන ජාතිකයින්ට පමණක් බව පැවසු වෛද්‍ය රමේෂ් පතිරණ මහතා මෙම එන්නත ජාතික ඖෂද නියාමන අධිකාරිය (NMRA) විසින් මෙතෙක් ලැබී ඇති තොරතුරු මත පදනම්ව ඇගයීමට ලක් කෙරෙමින් පවතින බවයි.

ඒ කෙසේ වෙතත්, 4 වන අදියර සායනික අත්හදා බැලීමේ ප්‍රථිපල ඇගයීමට ප්‍රමාදයක් පවතින බව ඔහු පැවසීය.

ඒ අනුව 4 වන අදියර සායනික අත්හදා බැලීමේ ප්‍රථිපලය ඉංග්‍රීසි භාෂාවෙන් ලබා ගත නොහැකි අතර ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් එන්නතෙහි විශ්වාසනීයව භාවිතා කිරීමට තරම් නිර්දේශ කර නොමැති අතර ඒ සඳහා අවශ්‍ය අනුමැතිය ලැබුණු මොහොතේ සිට එය ශ්‍රී ලාංකිකයින්ට ද භාවිතා කළ හැකි බවයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන්(WHO) අනුමැතිය ලබා ගැනීමට පෙර එය කාලය පිළිබඳ ප්‍රශ්නයක් මතුව ඇති බව වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අවධාරණය කරයි.

ශ්‍රී ලාංකිකයින් බිල්ලට ගැනීමේ උපායමාර්ගික මෙහෙයුමක්ද?

මේ සම්බන්ධයෙන් රසායනාගාර වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා ප්‍රකාශ කළේ චීන එන්නතේ 3 වැනි සායනික පරීක්ෂණයේ ප්‍රථිපල පෙන්නුම් නොකර 4වැනි සායනික පරීක්ෂණයේ කොටසක් ශ්‍රී ලංකාව හරහා සිදු කිරීමේ සුදානමක් පවතින බවත් ඒ සඳහා මෙරට දේශපාලන නායකත්වයේ මැදිහත් වීමක් ද සිදු වෙමින් ක්‍රියාත්මක වෙන බවත්ය.

ලෝක සෞඛ්‍යය සංවිධානය විසින් මෙතෙක් අනුමත කර නොමැති චීන “සිනොෆාර්ම්”කොවිඩ් 19 එන්නත මිළදී ගැනීම සදහා ශ‍්‍රී ලංකාවේ ඉහළ පෙළේ දේශපාලඥයන් පිරිසක් කටයුතු කරමින් සිටින බවත් ඒ වෙනුවෙන් සෞඛ්‍ය බලධාරීන් වෙත බලපෑම් කරමින් සිටින බවත් කුමුදේශ් මහතා පවසයි.

මේ වනතුරු සායනික පරීක්ෂණ අවසන් කර නොමැති මෙම චීන “සිනොෆාර්ම්” කොවිඩ් 19 එන්නත ශ්‍රී ලංකික පුරවැසියන්ට කොතෙක් දුරට ගැලපෙනවාද? එමගින් ආරක්ෂාව තහවුරු වෙනවාද? කොවිඩ් වෛරසය පාලනය කිරීමේ හැකියාවක් පවතිනවාද? එම එන්නත ලබා දීම තුළින් අතුරු අබාධ ඇති වෙනවාද? යන්න පිළිබඳව තහවුරු කර නොමැති පසුබිමකයි සෞඛ්‍ය බලධාරීන් සහ රජය එක්ව මෙම එන්නත මෙලෙස ගෙන්වා බලහත්කාර ලෙස ලබා දීමට උත්සහ කරන්නේ යැයි ඔහු පවසයි.

යම් ලෙසකින් චීන එන්නතේ අතුරු අබාධ ඇති වුවහොත් එහි වගකීම රජය විසින් ලබා ගත යුතු වෙයි.

චීනය විසින් මෙම එන්නත ශ්‍රී ලංකාවට ලබා ගන්නා ලෙස බල කරන්නේ ඉන්දියාවේ නිෂ්පාදිත ඔක්ස්ෆර්ඞ් ඇස්ට‍්‍රාසෙනෙකා කොවිෂීල්ඞ් එන්නතට ප්‍රති උත්තරයක් ලෙසින් බව පැහැදිළිව පෙනී යයි.

එබැවින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ මේ සඳහා නැවත වරක් අවදානය යොමු කර චීන එන්නත මෙරට පුරවැසියන්ට ලබා දෙනවාද? යන්න පිළිබඳව නැවත වරක් සිතා බලන ලෙස යැයි රසායනාගාර වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා සඳහන් කරයි.

එන්නත ලබා ගැනීමට ජාතික ඖෂද නියාමන අධිකාරියේ පුටු පෙරළියක්

දැනට ශ‍්‍රී ලංකාවේ ඖෂධ නියාමනය කිරීමේ ඉහළම ආයතනය වන ජාතික ඖෂධ නියාමන අධිකාරිය හදිසි භාවිතය සඳහා අනුමත කර ඇත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානයේද පිළිගැනීමට ලක්වූ ඔක්ස්ෆර්ඞ් ඇස්ට‍්‍රාසෙනෙකා කොවිෂීල්ඞ් සහ රුසියානු ස්පුට්නික් යන කොරෝනා එන්නත් පමණයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයට (WHO) වෙත ලබා දී ඇති දත්තවල විනිවිදභාවය නොමැති වීම හේතුවෙන් චීන “සිනොෆාර්ම්” එන්නත සදහා වන අයදුම්පත තවමත් එම අධිකාරිය විසින් අනුමත කර නොමැත.

එම අධිකාරියේ විධායක නිලධාරි සහ සෞඛ්‍යය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය කමල් ජයසිංහ මහතා උපුටා දක්වමින් ඇතැම් මාධ්‍ය වාර්තා කර ඇත්තේ “සිනොෆාර්ම්” එන්නත අනුමත කිරීම සදහා වන අත්‍යවශ්‍ය ලියකියවිලි තවමත් අධිකාරියට ලැබී නොමැති බවයි.

ලෝක සෞඛ්‍යය සංවිධානය(WHO) ද තවමත් එම එන්නත අනුමත කර නොමැති බැවින් එම සංවිධානයේ තීරණය ලැබෙනතුරු අධිකාරියට ප‍්‍රමාද වීමට සිදුව ඇති බවද සදහන් වෙයි.

එහෙත් මේ අතර, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සාමාජිකයින් සිව්දෙනෙකු ලෙස කටයුතු කළ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්ගේ විශේෂ කලාපීය නියෝජිත වෛද්‍ය පාලිත අබේකෝන්, කළමනාකරණ විශේෂඥ ආචාර්ය කපිල රණසිංහ, ගණකාධිකරණ විශේෂඥ හර්ෂණ කරුණාරත්න සහ නීතිඥ චාමින්දිකා හේරත් යන මහත්ම මහත්මීන් හදිසියේම ඉන් ඉවත් කිරීමට ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමනය පිළිබඳ රාජ්‍යය අමාත්‍ය චන්න ජයසුමන මහතා පසුගිය දා කටයුතු කර තිබුණි.

ඒ ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO)පිළිගැනීමකින් තොරව “සිනොෆාර්ම්” එන්නත සඳහා අනුමැතිය ලබාදීම ඔවුන් විසින් ප‍්‍රතික්ෂේප කිරීම ඊට හේතුව බව සෞඛ්‍ය ආරංචි මාර්ග සදහන් කරයි.

මෙම සිව්දෙනා සෞඛ්‍ය අමාත්‍ය පවිත‍්‍රා වන්නිආරච්ච්, ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමනය පිළිබඳ රාජ්‍යය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන සහ ප‍්‍රාථමික සෞඛ්‍යය සේවා, වසංගත හා රෝග පාලන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ ඇතුළු සෞඛ්‍යය බලධාරීන් සමඟ පැවති සාකච්ඡාවකදී මේ බව අනාවරණය කර ඇතැයිද සඳහන් වෙයි.

ඉවත් කළ පිරිස වෙනුවට ජාතික ඖෂධ නියාමන පාලන අධිකාරියේ නව සාමාජිකයන් ලෙස දේශපාලනයට හිතවත් කිහිප දෙනෙකු පත්කිරීමට ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමනය පිළිබඳ රාජ්‍යය අමාත්‍යය මහාචාර්ය චන්න ජයසුමන මහතා පියවර ගෙන තිබුණි.

එම සාමාජිකයින් සිව්දෙනාම ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ දේශපාලනයට ක‍්‍රියාකාරීව සම්බන්ධ අය වන අතර ඔවුන්ගෙන් දෙදෙනෙකු වන ආචාර්ය උදය ශ‍්‍රී කාරියාවසම් සහ රාජා ගුණරත්න මේ වන විටත් වෙනත් දේශපාලන පත්වීම් ලබා සිටින අයද වෙයි.

මහාචාර්ය සිරිබද්දන සහ විශේෂඥ වෛද්‍ය විජේවන්ත අමාත්‍ය මහාචාර්ය ජයසුමනගේ සමග එක්ව වෘත්තීය කටයුතුවල නිරත වූවන් බවයි වාර්තා වන්නේ.

සෞඛ්‍ය විශේෂඥයන් පවසන්නේ ඉහළ පෙළේ දේශපාලනඥයින් අලූතින් පත් කරන ලද නියෝජිතයන්ගේ සහාය ඇතිව චීන “සිනොෆාර්ම්” එන්නත සඳහා අනුමැතිය ලබා ගැනීමට යන බවත් එය ශ‍්‍රී ලංකාවේ කොරෝනා ප‍්‍රතිශක්තිකරණ ක‍්‍රියාවලියට අහිතකර ලෙස බලපානු ඇති බවත්ය.

අනුමත නොකරන ලද චීන “සිනොෆාර්ම්” එන්නත දැනට අනුමත කර ඇති ඔක්ස්ෆර්ඞ් ඇස්ට‍්‍රාසෙනෙකා කොවිෂීල්ඞ් එන්නතට වඩා මිල අධික වන අතර එය ලෝක සෞඛ්‍යය සංවිධානය විසින් පමණක් නොව ලෝකයේ කිසිදු උසස් මට්ටමේ වෛද්‍ය ආයතනයක් විසින් පිළිගෙන නොමැති බවද එම විශේඥයන්ගේ මතය වී තිබේ.

කොවිඩ් එන්නත් ගෙන්වීමේ බලය පෞද්ගලීක අංශයට

මේ අතර මෙම චීන එන්නත ශ‍්‍රී ලංකාව තුළ භාවිතය අනුමත කිරීමේ ක‍්‍රියාවලිය කඩිනම් කරන ලෙසට පසුගිය දා ජනාධිපතිවරයා ද සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් දී ඇති බව ප‍්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත හා කෝවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍යය සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ මහත්මිය උපුටා දක්වමින් “ඬේලි මිරර්” පුවත්පත වාර්තා කර තිබුණි.

මෙයට පෙර අවස්ථාවක, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාඨලී චම්පික රණවකමහතා සදහන් කර තිබුණේ අඩු වියදම් ඔක්ස්ෆර්ඞ් ඇස්ට‍්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත මිළදී ගැනීම වෙනුවට චීනයෙන් වැඩි මිලට එන්නත් ලබා ගැනීමට රජය උත්සහ ගනිමින් ඇති බවයි.

එම එන්නතෙහි ගුණාත්මකභාවය ජාත්‍යන්තර ආයතන විසින් පවා සහතික කර නොමැති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහ කොවැක්ස් වැඩසටහන යන දෙඅංශයේම සහතිකය එහිදී අත්‍යවශ්‍ය වන බවද චම්පික රණවක මන්ත‍්‍රීවරයා මෙහිදී පෙන්වා දී තිබුණි.

මේ අතර කොවිඩ් මර්ධන එන්නත් ගෙන්වීම පෞද්ගලික අංශයට ද ලබා දීමට රජයේ අවධානය යොමු වී ඇත.
කොවිඩ් මර්දන එන්නත සැපයුම ඉහළ මට්ටමකට පැමිණෙන විට මෙරට පෞද්ගලික අංශයට ද එන්නත් ගෙන්වීම පිලිබඳ ජනාධිපති කමිටුවේ ප්‍රධානී ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග මහතා පවසයි.

පෞද්ගලික අංශයට රජය සමඟ සාකච්ජා කර ඒ කටයුතුවලට සම්බන්ධ විය හැකි බවත් පෞද්ගලික අංශය ඒ කටයුතු කිරීමේදී රජයේ පූර්ණ අධීක්ෂණය යටතේ එය සිදු විය යුතු බවත් ඔහු ප්‍රකාශ කළේය.

මේ අතර ශ්‍රී ලංකා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ චීනයේ නිෂ්පාදන කරනු ලබන ‘සයිනොෆාම්’ කොරෝනා එන්නත මෙරට භාවිතය සඳහා අනුමැතිය ලබාදී ඇත්තේ විද්‍යාත්මක පදනමකින් නොවන බව බවයි.

එහි සභාපති වෛද්‍ය ලලන්ත රණසිංහ මහතා විසින් නිකුත් කරන ලද නිවේදනයේ සඳහන් වන්නේ චීන කොරෝනා එන්නත මේ රටට විශාල වශයෙන් තොග ඇණැවුම් කර තිබෙන බවයි.

නමුත් එය මෙරට ජනතාවට ලබා දුනහොත් ජනතාවගේ ජීවිත පිළිබඳ අවදානමක් පවතින බවද ඔවුන් පෙන්වා දෙයි.

එවැනි පසුබිමක් තුළ මෙවැනි ගැටළු සහගත එන්නතක් මෙරටට ගෙන්වා රටේ ජනතාව බිල්ලට දීමට තරම් දේශපාලකයෝ කොතරම් නිර්ලජ්ජිතද බව මෙයින් පැහැදිලි වෙයි.

යම් විටෙක මෙය සායනික පරීක්ෂණයේ කොටසක් නම් මේ රටේ ජනතාව පාවල දීලා චීනයෙන් මුල්‍යම වාසියක් ලබා ගන්නට දේශපාලන නායකත්වය කටයුතු කර ඇත්දැයි කිසිවෙකුත් නොසිතනවා ඇති.

චීන එන්නතේ වගකීම රජය විසින් ගත යුතුයි

කොවිඩ්-19 වෛරසය පාලනය සඳහා චීනය විසින් නිපදවූ චීන “සිනොෆාර්ම්” එන්නතෙහි වගකීම සෞඛ්‍ය අමාත්‍යංශය විසින් භාර ගන්නේ නම් පමණක් එන්නත් කරන වැඩසටහනට එක්වන බව මහජන සෞඛ්‍ය පරිකෂකවරුන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසුරිය මහතා Colombo Gazette වෙත ප්‍රකාශ කළේ ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයේ තාක්ෂණික කමිටුවේ මාර්ගෝපදේශ ඇතුළත් චක්‍ර ලේඛයක් නිකුත් කළ යුතු බවයි.

මෙම චීන එන්නත සඳහා මේ වන විටත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) නිසි අවසරය ලැබී නොමැති නිසා එය එන්නත් කිරීමෙන් අනතුරුව යම් අතුරු ආබාධයක් ඇති වුවහොත් එහි වගකීම සෞඛ්‍ය අංශය භාරගත යුතු වෙන බව ඔහු පවසයි.

කිසිම අවස්ථාවක මෙම එන්නත බලහත්කාරයෙන් එන්නත් කිරීමට සුදානමක් නැති බවත් චීන ජාතිකයින් හෝ ශ්‍රී ලාංකිකයින් හෝ කවුරු උනත් ඔවුන්ගේ කැමැත්ත පරිදි පමණක් එන්නත් කෙරෙන බව බාලසුරිය මහතා පවසයි.

මෙයට පෙරදී ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) සඳහන් කළේ කොවිඩ් පාලනය කිරීම සඳහා නිපදවන එන්නත්හි නිසි ආරක්ෂාව තහවුරු කිරීමට නම් අවම වශයෙන් වසර 3ක් හෝ ගත වෙන බවත් මෙම චීන එන්නතට වසරක්වත් ගත වී නොමැති නිසා එම දත්තයන්හි යම් අපැහැදිලි තත්වයක් ඇති බව බාලසුරිය මහතා අවධාරණය කරයි.

චීන එන්නත ලබා ගත් පකිස්ථානු ජනාධිපතිටත් කොවිඩ් හැදෙයි

චීනය නිපදවූ “සිනොෆාර්ම්” පළමු එන්නත් මාත්‍රාව ලබාගත් පකිස්ථානු ජනපති අරිෆ් අල්විටත් කොවිඩ් වැළඳී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ජනාධිපතිවරයාට චීන “සිනොෆාර්ම්” කොවිඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබාදීමෙන් පසුව එලෙස වෛරසය ආසාදනය වී ඇත.
පළමු මාත්‍රාව ලබා ගත්ත ද දෙවන මාත්‍රාව ලබා ගන්නා තුරු කොරෝනා වෛරසයට එරෙහිව තම දේහය තුළ ප්‍රතිදේහ වර්ධනය නොවීම අපේක්ෂා කළ හැකි කරුණක් බව පාකිස්තාන ජනාධිපතිවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ.

“සිනොෆාර්ම්” එන්නතේ අතුරු ආබාධ 73ක් ඇති බව චීන වෛද්‍යවරයෙකු හෙළි කරයි

මේ අතර විදෙස් මාධ්‍ය විසින් අන්තර්ජාතික වෛද්‍ය විද්‍යා කවුන්සිලය උපුටා දක්වමින් සඳහන් කරන්නේ මෙම චීන “සිනොෆාර්ම්” එනතෙහි අතුරු අබාධ 73ක් හඳුනාගෙන ඇති බවයි.

චීනයේ නිෂ්පාදිත මෙම කොරෝනා මර්ධන එන්නත ලෝකයේ වඩාත්ම භයානක අතුරු ආබාධ 73 ක් සහිත එන්නතක් බව චීන වෛද්‍යවරයෙකු වන ආචාර්ය ටාවෝ ලිනා විසින් හෙළිදරව්වක් කර තිබුණි.

ඒ අනුව චීනයේ “සීනෝෆාර්ම්” එන්නතෙහි ඇති වන අහිතකර ප්‍රතික්‍රියා පිළිබඳ සම්පූර්ණ ලැයිස්තුවක් ඔහු විසින් අනාවරණය කර තිබේ.

එම එන්නත ලබා ගැනීමෙන් අනතුරුව ඇඟපත වේදනාව, හිසරදය, අධි රුධිර පීඩනය, පෙනීම හා රසය නැතිවීම, මුත්‍රා කිරීම අපහසුතාවය, උණ, තෙහෙට්ටුව, මාංශ පේශි කැක්කුම, සන්ධි වේදනාව, කැස්ස, හුස්ම ගැනීමේ අපහසුතාව, ඔක්කාරය, පාචනය සහ සමේ කැසීම,කරකැවිල්ල, ආහාර රුචිය නැතිවීම, වමනය, ඕරොෆරින්ජියල් වේදනාව, ගිලීමේ අපහසුතාව, නාසයේ වේදනාව, මලබද්ධය සහ අධි සංවේදීතාවය ඒ අතර වෙයි.

තවද උග්‍ර අසාත්මිකතාය, උදාසීනකම, නිදිබර ගතිය, නිදාගැනීමේ අපහසුතාව, කිවිසුම් යාම, නාසෝෆරින්ගයිටිස්, මානසික තදබදය, වියළි උගුර, ඉන්ෆ්ලුවෙන්සා, හයිපොතෙස්ටේෂියා, අත් පා වේදනාව, ස්පන්දනය, බඩේ කැක්කුම, කැසීම, සම සහ ශ්ලේෂ්මල පටලවල අසාමාන්‍යතා, කුරුලෑ, අක්ෂි වේදනාව , කණ අසහනය සහ ලිම්ෆැඩෙනෝපති වෙයි..

අවසාන වශයෙන් සීතල, ඩිස්ජියුසියා (රසය පිළිබඳ හැඟීම විකෘති කිරීම), රසය නැතිවීම, අසාමාන්‍ය බවක් දැනීම, කම්පන, අවධානය යොමු කිරීමට අපහසු වීම, නාසයේ ලේ ගැලීම, ඇදුම, උගුර කුපිත වීම, ටොන්සිලයිටිස්, අත් පා අපහසුතා, බෙල්ලේ වේදනාව, හකු වේදනාව, බෙල්ලේ ගැටිති, මුඛයේ වණ, දත් කැක්කුම, ආමාශ ආශ්‍රිත රෝග, මල බද්ධය, අක්ෂි වේදනාව, නොපැහැදිලි පෙනීම, අක්ෂි කෝපවීම, පෙනීම නැතිවීම, කන්, ස්නායු භාවය, අඩු රුධිර පීඩනය, මුත්රා පිටවීම, ඔසප් වීම ප්‍රමාද වීම යන අතුරු ආබාධ ඇති විය හැකි බව එම චීන වෛධ්‍යවරයා විසින් අනාවරණය කර ඇත.

එම චීන වෛද්‍යවරයා පවසන පරිදි “සයිනොෆාර්ම්” කොවිඩ් එන්නත අතුරු ආබාධ 73 ක් සහිත ‘ලෝකයේ වඩාත්ම අනාරක්ෂිත එන්නත බවයි.

චීන එන්නත් සමග තවත් ඖෂද මාෆියාවක්

මෙම එන්නත විද ගැනීමෙන් අනතුරුව ඇති වන සංකුලතා අවම කර ගැනීමටත් අතුරු ආබාධ පාලනය කර ගැනීමටත් අවශ්‍ය ඖෂද වර්ගද චීන එන්නත පිටුපසින් ගමන් කරනවාද යන්න සැකයක් පවතී.

ඒ අනුව අපට හැඟී යන පරිදි හුදෙක්ම මෙම එන්නත් ගනුදෙණුව පිටුපස මහා පරිමාණ ව්‍යාපාරික ව්‍යවුහයක් ගොඩ නැගී ඇත්දැයි යළිත් වරක් සොයා බැලීම මෙරට සෞඛ්‍ය බලධාරීන්ගේ වගකීමක් ද වෙයි.

https://www.taiwannews.com.tw/en/news/4098913

Coronavirus vaccine side effects in China: China’s corona virus vaccine is the most dangerous in the world, 73 side effects: Chinese doctor – China Sinopharm Covid 19 vaccine is the most dangerous in the world 73 side effects according to a chinese doctor

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.