Facebook මගින් අලුත් අවුරුදු සමයේ ව්‍යාපාර සරු කරන වැඩසටහනක්‍

පසුගිය දශකයකට වැඩි කාලයක් පුරා, බොහෝ ව්‍යාපාර, සිය ගනුදෙනු පාරිභෝගිකයා සමග මුහුණට මුහුණලා සිදු කිරීමෙන් නොනැවතී, අන්තර්ජාලය තුළ ද ස්ථාපනය කිරීමේ ප්‍රවණතාවය සීඝ්‍රයෙන් ඉහළ යන ලදී. COVID-19 ගෝලීය වසංගත තත්ත්වය හමුවේ පාරිභෝගිකයින් වෙත ඩිජිටල් සේවා සපයමින් සමීප වීම අත්‍යවශ්‍ය කරුණක් බවට පත් වූ අතර භෝජනාගාරවලින් ආහාර ඇණවුම් කිරීම, වෙළදසල්වල භාණ්ඩ ප්‍ර‍දර්ශන වෙබ් අඩවි මෙන්ම ශරීර සුවතා මධ්‍යස්ථානවල ව්‍යායාම කරන ආකාරය පෙන්වන සජීව වීඩියෝ මුදා හැරීම ආදී බොහෝ දේ මෙහි ප්‍ර‍තිඵලයක් ලෙස සිදු විය. ඩිජිටල් සබැදියාව බොහෝ කුඩා ව්‍යාපාරවල ඒකායන පැවැත්ම වූ අතර ඉදිරි අනාගතයේ ආර්ථික සංවර්ධන පණ ගැන්වීම සඳහා මෙම තත්ත්වය පවත්වාගැනීම අත්‍යවශ්‍ය කරුණක් වේ.

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, ශ්‍රී ලාංකික ආර්ථිකයේ කොඳුනාරටිය වන අතර එය සමස්ත ව්‍යාපාරවලින් සියයට 75 ඉක්මවමින් රටේ දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 50කට වැඩි දායකත්වයක් ලබාදෙයි. එළැඹෙන අලුත් අවුරුදු සමය මූලික කර ගනිමින් Facebook විසින් #DigitalSaubhagya නමින් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර නැවත ශක්තිමත් කරන නව පරිවර්තන වැඩසටහනක් එළිදක්වනු ලැබ ඇති අතර ව්‍යාපාර සංවර්ධනය කරගැනීම සඳහා ඩිජිටල් පහසුකම් ඵලදායීව යොදාගන්නා ආකාරය පිළිබඳව දේශීය ව්‍යවසායකයින් දැනුවත් කිරීම හා මග පෙන්වීම එමගින් සිදු කෙරේ.

බොහෝ පිරිසක් Facebook පරිශීලනය කරන බැවින් නිරන්තර අවධානයෙන් සිටිමින්, අන්තර්ජාලය ඔස්සේ සබඳතා ගොඩනගා ගනිමින්, පාරිභෝගිකයින් වෙත සමීප වීම සඳහා මෙම ව්‍යාපාරිකයින්ට සහාය වීම මෙහි අරමුණයි. ව්‍යවසායකයින්ට සිය ව්‍යාපාරික කටයුතු පහසු කරන සහ කාලය ඉතිරි කරන Pages, Inbox, Messenger සහ Jobs ආදී වශයෙන් වූ කොටස් මෙහි අන්තර්ගත වන අතර සිය ව්‍යාපාර වැඩිදියුණු කරගැනීමට වඩා වැදගත් කවරේද යන්න පිළිබඳව වැඩි අවධානයක් යොමු කිරීමට ඔවුන්ට මෙමගින් අවස්ථාව සැලසේ.

Facebook හෝ Instagram භාවිතය ආරම්භ කිරීම ඉතා පහසු කටයුත්තකි. ඒ සඳහා ඔබට අවශ්‍ය වන්නේ ඔබේ නව අදහස් සහ අන්තර්ජාල පහසුකම සහිත දුරකථනයක් පමණි.

මෙහි පළමු පියවර වන්නේ, විනාඩි කිහිපයක් තුළ ඔබේ ව්‍යාපාරය ඩිජිටල් ලෝකය තුළ ස්ථාපිත කරමින් ලොවට පා තබන Facebook Page හෝ Instagram Business Profile එකක් සකස් කරගැනීමයි. අන්තර්ජාලය ඔස්සේ පාරිභෝගිකයා සමග සම්බන්ධ වීම ඊළඟ පියවර වේ.

පාරිභෝගිකයින් තමන් කැමති ව්‍යාපාර හා සම්බන්ධ වන ආකාර කිහිපයක් වේ.

  • ව්‍යාපාර හිමිකරුවන්ගේ ගමන්මග සහ ඔවුන්ගේ වෙළඳනාම පිළිබඳව දැනගැනීමෙන්
  • පිංතූර සහ වීඩියෝ මගින් නව නිෂ්පාදන සහ දීමනා පිළිබඳව දැනගැනීමෙන්
  • ප්‍ර‍ශ්න ඉදිරිපත් කරන පණිවිඩ යොමු කර පහසුවෙන් නිෂ්පාදන මිලදී ගැනීමෙන්
  • කාලය සහ ස්ථාන පිළිබඳව සොයා බලා හමුවීමට වේලාව වෙන් කරගැනීමෙන්

නිරන්තරයෙන් Facebook සහ Instagram හි post පළ කිරීමෙන් සහ පාරිභෝගිකයාට දැකගත හැකි පරිදි ආකර්ෂණීය පිංතූර/ වීඩියෝ වැනි දේ පළ කිරීමෙන් ඔවුන්ව දැනුවත් කර, උනන්දුව ඇති කරලීමට හැකි වේ. එසේම විශ්වාසය ගොඩනගා ගැනීම සඳහා පාරිභෝගික විමසීම් වලට නිරන්තරයෙන් පිළිතුරු ලබාදීම ඉතා වැදගත් වන අතර ස්මාර්ට් දුරකථනයක් භාවිත කිරීමෙන් මෙය පහසුවෙන් කළමනාකරණය කරගත හැක.

සෑම මසකම ව්‍යාපාර මිලියන 200කට වැඩි ප්‍ර‍මාණයක් Facebook apps භාවිත කරන අතර මිලියන 10කට වැඩි ව්‍යාපාරිකයින් සංඛ්‍යාවක් සිය පාරිභෝගිකයා වෙත ප්‍රවේශ වීමට personalized ad (පෞද්ගලිකව විශේෂයෙන් සැකසූ දැන්වීම්) යොදා ගනී.  එය තරගබිම තුළ රැඳී සිටීමට සහායක් වන අතර බොහෝ දෙනෙකුගේ සාර්ථකත්වයේ රහසක් වන්නේ ද මෙයයි.

  • අදාළ නිෂ්පාදන හෝ සේවාවන් පිළිබඳව උනන්දුවක් දක්වන පුද්ගලයින් වෙත සමීප වීම මගින්, ගනුදෙනු කිරීමේ සම්භාවිතාවක් ඇති පාරිභෝගිකයින් පිරිසක් සොයාගැනීමට හැකියාව ලැබේ
  • පෙර ළඟා වීමට නොහැකිව තිබූ සිය ප්‍රදේශයෙන් බැහැර ස්ථාන වෙත ද සේවා සැපයිය හැකි වේ.
  • මෙය ඉතා ලාභදායී සහ පහසුවෙන් මැනගත හැකි බැවින්, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට වඩා ඵලදායී ලෙස යොදාගත හැකි වේ.

දැවැන්ත වෙළදනාම සමාගම්වලට වැඩි වියදමක් දරමින් විශාල වශයෙන් ප්‍ර‍වර්ධන වැඩසටහන් කිරීමට හැකියාව ඇති නමුත්, ස්වාධීන වෙළදසලක් හෝ පවුලේ ව්‍යාපාරයක් වූ භෝජනාගාරයක් නම් ඔවුන්ට එවැනි දේ පහසු වන්නේ නැත. අවුරුදු සමය මූලික කරගනිමින් Facebook හි #DigitalSaubhagya වැඩසටහන හදුන්වාදෙන ලද්දේ, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්ට ඉදිරියේ පැමිණෙන කාර්යබහුල ව්‍යාපාරික කාලය සදහා සූදානම් වීමටත් උත්සව සමයෙන් පසුව ද සිය ව්‍යාපාරික කටයුතු සාර්ථකව ඉදිරියට ගෙන යාමට අවස්ථාව උදා කරදීමටත්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.