අන්තවාදීන්ගෙන් නිදහස්වූ ඓතිහාසික කූරගල බුද බිම බෞද්ධයන්ගෙන් පිරී යයි

කූරගල යනු මෑත වකවානුවේ බොහෝ දෙනා අතර කතාබහට ලක්වූ හා පුවත් මැවූ සුවිශේෂ ස්ථානයකි. කූරගල පිහිටියේ සබරගමුව පළාතේ, රත්නපුර දිස්ත්‍රික්කයේ, බලංගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, 258/ත් කූරගල ග්‍රාම නිලධාරී කොට්ඨාසයේය. බළන්ගොඩ සිට කල්තොට මාර්ගයේ කිලෝමීටර් 23 ක් පැමිණීමෙන් කූරගල පුරාවිද්‍යා ස්ථානයට ප්‍රවේශ විය හැකිය.

වයඹ හා උතුරු දෙසින් කඳු ගැටවලින් යුක්ත වුවද, ඒ කඳු අතරම වූ මධ්‍ය භූමිය යම් තැනිතලා ස්වරූපයක් පෙන්නුම් කරයි. කූරගල අයත් වන්නේ පහතරට වියළි කලාපයටත්, තෙත් කලාපයටත් අතර පිහිටි අන්තර් භූවිෂමතා කලාපයටය. ශ්‍රී ලංකාවේ පැරැණි ලෙන් ආරාම සංකීර්ණ ලෙසින් සැලකෙන මිහින්තලය, වෙස්සගිරිය, රිටිගල, දිඹුලාගල, සිතුල්පව්ව, වැනි ආරණ්‍ය සේනාසනවලට සමකාලීන බවක් පෙන්නුම් කරන කූරගල, එම වකවානුවේ බෞද්ධ සෙනසුනක් ලෙසින් හඳුනාගත හැකිය (බිනරගම 2013:203-219). අතීතයේ දී පුරාණ මාගම රාජධානියට මේ ප්‍රදේශය අයත්ව තිබූ බව අනුමාන කළ හැකිය. ඒ අනුව ඓතිහාසික යුගයේ දී කූරගල මාගම රාජධානියේ සිට වලවේ ගඟ ඉහළ සීමාව දක්වා රට අභ්‍යන්තරයට බෞද්ධ සංස්කෘතිය හා බැඳෙමින් ව්‍යාප්ත වූ, ජනපද නිර්මාණයේ දී බිහි වූ, තවත් එක් ආර්ය ජනාවාසයක් සහිත පූජනීය ස්ථානයක් ලෙස මේ ස්ථානය හඳුනාගත හැකිය.

අතීතයේ භාවනානුයෝගී භික්ෂූන් වහන්සේලාට සුදුසු පරිසරයකින් යුක්ත මේ ආරණ්‍ය සේනාසනය සහිත කලාපයේ, කටාරම් කෙටූ පූර්ව බ්‍රහ්මී ලිපිවලින් සමන්විත ලෙන් ආරාම සාධක හමුවේ. ඓතිහාසිකත්වයේ කරුණු සැලකිල්ලට ගෙන සී. ඊ. ගොඩකුඹුර මහතා ස්ථානය පරීක්ෂා කර බලා, 1971 අගෝස්තු මස 11 වැනි දින ගැසට් පත්‍රය මඟින් පුරාවිද්‍යා රක්ෂිතයක් බවට මෙය නම්කර තිබේ.

මහාචාර්ය සෙනරත් පරණ විතාන මහතා කියවා අර්ථකථනය කරන ලද ලිපිවලින් අද වන විට හඳුනාගත හැක්කේ ලිපි දෙකක් පමණි. ලිපිවල සරල අර්ථය වී ඇත්තේ, විවිධ නම් සහිත පුද්ගලයන් ලෙන් සකසා සතර දෙසින් වඩිනා සංඝයා වෙත පූජා කර ඇති බවකි.

කූරගල පිළිබඳ බොහෝදෙනා දැන සිටි ක්‍රිස්තු පූර්ව දෙවැනි හා පළමු සියවස්වල දී ආරම්භ වූ බෞද්ධ ආගමික නටබුන්හි ඉතිහාසයට වැඩිමනක් කරුණු එකතු කරමින්, ප්‍රාග් ඓතිහාසික මානව ජනාවාස සාධක පිළිබඳ කරුණු අනාවරණය වීමට පටන් ගන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පූර්ණ මැදිහත් වීමෙන්, වර්ෂ 2013 දී ස්ථානය ආශ්‍රිතව සිදු කරන ලද හදිසි කැණීම් මඟිනි. පුරාවිද්‍යාත්මක පර්යේෂණ කැණීම් ව්‍යාපෘතිය මඟින් කූරගල ලෙන් සංකීර්ණය ආශ්‍රිතව නිශ්චිතවම ප්‍රාග්ඓතිහාසික මානවයා විසු බවට විද්‍යාත්මකව තහවුරු විය. අදින් වසර 15163 ත්, අදින් වසර 2940 ත් අතර කාල පරාසය තුළ කූරගල ලෙන් ආශ්‍රීතව මානවයන් ජීවත් වූ බවට කාබන් 14 (14 ක්) කාල නිර්ණ තොරතුරු හෙළිදරව් කරයි (ඇරගම 2017).

අද වන විටත් කූරගල පිළිබඳ සමාජයේ විවිධ දුර්මත රැසක් පවතී. එය විවිධ ආගම්, විවිධ ජන වර්ග හා මිථ්‍යා විශ්වාස පදනම් කර ගනිමින් ගොඩනැඟුණු ඒවාය. ඒ සියලු ගැටලුවලට පිළිතුරු, දැනුම හා බුද්ධිය නිවැරැදිව භාවිත කරන්නකුට පහසුවෙන් අවබෝධ කරගත හැකිය. මෙහි දී භෞතික විද්‍යාත්මක මූලධර්මවලට අනුව පවත්නා පුරාවිද්‍යාත්මක තොරතුරු සෑම දෙනාටම ඉහළින් පිළිගත හැකි හා විශ්වාස කළහැකි පදනමකින් යුතුය. කූරගල පිළිබඳ පුරාවිද්‍යාත්මකව තහවුරු නොවන කිසිදු මතයක් සම්බන්ධයෙන් කරුණු ගොනු කරන්නට, කරුණු ඉදිරිපත් කරන්නට, වගකිව යුතු ආයතනයක් ලෙසට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඉදිරිපත් නොවන්නේ ඒ නිසාය.

2013 වර්ෂයේ කූරගල රක්ෂිතයේ සිදුකරන ලද පුරාවිද්‍යා කැණීම්වලින් ඉතාමත්ම වැදගත් කරුණු රැසක් හෙළිදරවු කර ගැනීමට හැකිව තිබේ. ඒ අනුව කූරගල සිදු කරන ලද පුරාවිද්‍යාත්මක පර්යේෂණ ක්‍රියාන්විතයේ දී මාස 08 ක කාලයක් පස් ස්ථර 49කට ආසන්න සංඛ්‍යාවක් සියුම්ව අධ්‍යයනය කරමින්, ප්‍රධාන ජනාවාස වෙනස්වීම් අවධි 07ක් ඔස්සේ පිහිටි පොළොව දක්වාම කරන ලද කැණීමේ උස දළ වශයෙන් මීටර් 03කි. අවසන් ප්ලයිස්ටෝසීන යුගයේ සිට අදින් වසර 6000 සීමාවේ වත්මන් මධ්‍ය හොලෝසීන යුගය දක්වා කාල පරාසයකට අයත් ජනාවාසකරණයක් මේ ස්ථානයේ පැවැති ඇත.

මානව යුගාන්තරයේ ද්වී පාදිකත්වය හෙවත් දෙපයින් ඇවිදීමේ ක්‍රියාවලිය අභිබවා ගොස්, අදින් වසර මිලියන 2.5 කට පමණ පෙර අත්ල භාවිතයට ගනිමින් ද්‍රව්‍ය හැසිරවීමේ හා නතු කර ගැනීමේ විශිෂ්ට වූ ජයග්‍රහණයෙන් ඇරැඹි ගමන් මඟේ, මධ්‍යශිලා යුගයේ නවීන මානවයා නවාතැන් ගත් තවත් නැවතුම් පොළක් ලෙස, කූරගල හඳුනාගෙන ඇත. මිනිසාගේ අවධිය නොහොත් අනෙකුත් සතුන් අබිබවා සාර්ව බහුමික සත්ත්වයෙක් ලෙසට නැ‍ඟී සිටින අවස්ථාව ලෝකයම මහ වෙනසකට ලක් කළේය. මේ අනුව මධ්‍ය ශිලා යුගයෙන් මතුවන මානවයාගේ, නූතන මානවයාගේම පූර්වජයන් බවට වූ බොහෝ සාධක, කූරගලින්ද සනාථ විය.

කැණීම් මඟින් අනාවරණය කරගත් සුවිශේෂතා අතර, වියළි හා තෙත් යන කලාප ද්විත්වයේ අතරමැදි සංකලන පරිසරයක් වූ සංක්‍රාන්තික කලාපයක (Intermediate zone) සිදු වූ පළමු ප්‍රාග් ඓතිහාසික ලෙන් කැණීම වීම, සංචාරක මානවයෙක් ලෙසින් වාර්තාගත අයුරින් වලවේ ගං නිම්නය ඔස්සේ කිලෝ මීටර් 80කට ආසන්න දුර ගෙවා, මුහුදුකරය හා දැඩි සබඳතා පැවැත්වීම දැක්විය හැකිය.

අවකාශය බෙදා ගනිමින්, ස්ථානය මත අඛණ්ඩ ජනාවාසකරණයක් සිදුව ඇති බව, දැනට සොයාගෙන ඇති කරුණු මඟින් හෙළිදරවු වේ. මීට අමතරව විලාසිතාකරණය පිළිබඳ පැහැදිලි සාක්ෂි ඉතිරි කරමින්, කරදිය හා මිරිදිය බෙල්ලන් 80කට ආසන්න ප්‍රමාණයකින් නිර්මාණය කර ගන්නා ලද පබළු අනාවරණය වීම, ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට ප්‍රාග් ඓතිහාසික කැණීමකින් ස්වභාවික මිනිරන් ඛනිජයක් (graphite) උපයෝගී කරගෙන සකස් කළ පබළුවක් හමු වීම, ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික ලෙන් කැණීමකින් අභිචාර හා ආදාහන ක්‍රම භාවිතයෙන් මළවුන් ඇදහූ බවට කළල ස්වරූපී අයුරින් මිහිදන් කර තිබූ සම්පූර්ණ අස්ථි සැකිල්ලක් හමු වීම, දැනට ශ්‍රී ලංකාවෙන් වඳව ගිය සත්ත්ව විශේෂ කීපයක ශේෂ කොටස් හමු වීම, හුදෙකලා ප්‍රාග් මානව ජනාවාසයක් ලෙසින් නොව, ජනාවාස සංකීර්ණයක් ලෙසින් ක්‍රියාකර තිබූ බවට ප්‍රධාන ලෙන අවටින් ලෙන් ජනාවාස කීපයක් හා එළිමහන් ජනාවාස රැසක් හමු වීම, විවිධ ස්වාභාවික ඛනිජ වලින් (ocher) උරච්චි කර ලබා ගත් වර්ණ විලාසිතා හා වෙනත් අභිචාර ක්‍රමෝපාය සඳහා යොදාගෙන තිබීම, වෙනත් ප්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යා ස්ථානවලින් හමුවන ජ්‍යාමිතික ස්වරූපී ශිලා මෙවලම් ප්‍රමාණය අභිබවා වැඩි වීම, අනෙකුත් ප්‍රාග් ඓතිහාසික ස්ථානවල මෙන්ම ගින්දර භාවිත කළ බවට (Fire Place) පැහැදිලි සාධක හමුවීම දැක්විය හැකිය.

කූරගලින් මතුවූ හෝමෝ සේපියන් නවීන මානවයන් (Homo Sapiens man) කැණීම් පරිශ්‍රයේ අංක 08 ස්ථරයේ මධ්‍යයට වන්නට පොළොව මට්ටමින් සෙන්ටි මීටර් 90 කට ආසන්න ගැඹුරකින් මතු විය. කළල ස්වරූපී අයුරින් හිස ඊසාන දෙසට වන්නට යොමා අභිචාර ක්‍රමෝපාය මඟින් මිහිදන් කර තිබුණේ, ප්‍රාථමික නොගැඹුරු වළ දැමීමක් ලෙසය. අප අයත් ප්‍රීමාටා ගෝත්‍රයේ පොදු ලක්ෂණ සේ සැලකෙන දියුණු දෘෂ්ටිය, නොදියුණු ආඝ‍්‍රාණ ශක්තිය, පුරුක් පහකින් යුත් ග්‍රහණය සඳහා හැඩගැසුණු අත් පා, කෙටි හණුව, වඩා දියුණු ස්නායු පද්ධතිය හා දියුණු සමාජ සංවිධානාත්මක රටාව නිසා මේ මානවයන්ද නවීන මානවයන් නියෝජනය කරයි.

නවීන මානවයා වූ හෝමෝ සේපියන් සේපියන් මානව පූර්වජයන්ගේ නියෝජනයක් පෙන්වන කූරගල ප්‍රාග් ඓතිහාසික ජනාවාස භූමිය, දකුණු ආසියාවේ නවීන මානවයා ව්‍යාප්ත වීමේ හා සංක්‍රමණික ක්‍රියාවලිය සිදුවීම පිළිබඳ සෘජු අවබෝධයක් ගත හැකි ප්‍රබල ස්ථානයක් බවට මේ වන විට පත්ව ඇත. ශ්‍රී ලාංකේය උරුමය විදහා පානා අතීත පුරා විදුබිම් වනසා ලන්නට අන්තවාදීන් කටයුතු කරන්නේ මීට දශක කිහිපයක සිටය. බළන්ගොඩට නුදුරු කූරගල පුරාවිදු බිමට අත්වූයේද ඒ ඉරණමයි.

ඒ අනුව අන්තවාදීන්ගේ ග්‍රහණයෙන් කූරගල පුරාවිදු බිම මුදා ගෙන එය සමස්ත සිංහල, දෙමළ, මුස්ලිම් ඇතුළු සියලු ලාංකිකයන්ගේම උරුමය බවට කුරගල පත් කිරීමට නෙල්ලිගල නායක හාමුදුරුවන් හෙවත් වතුරකුඹුරේ ධම්මරතන හිමියෝ කටයුතු කරමින් සිටිති. ඒ අනුව ‘යළි පිබිදෙන කුරගල‘ නමින් කූරගල පුරාවිදු බිමේ පුරා විද්‍යා භූමීන්ට කිසිදු හානියක් නොවන සේ සංවර්ධන කටයුතු ආරම්භ කිරීමට කටයුතු කළ බව නෙල්ලිගල හාමුදුරුවෝ පැවසු සේක.

කූරගල පර්වත මුඳුනේ තිබුණු ඉපැරැණි දාගැබ මේ වනවිටත් අන්තවාදීන් විසින් වනසා දමා ඇති අතර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින්, වනසා දමන ලද ස්තූප කොටස් එකතු කර දර්ශන අඩ චෛත්‍යයක් පුරාවිද්‍යා ලක්ෂණ මත පර්වත මස්තකයේ ඉදි කර ඇත. එම නිසා ඒ ආසන්නයේ පුරා විද්‍යා භූමිය ආරක්ෂා වන ලෙසින් අඩි 100ක් උස මහ සෑයක් ‘අස දිසි ශාක්‍ය සුගත මහා සෑය‘ නමින් ඉදි කිරීමට අවශ්‍ය කටයුතු යොදා ඇත.

මෙවර බොහෝ උපාසක උපාසිකාවන්ගෙන් බැතිමතුන්ගෙන් කූරගල පුදබිම වැසී ගියේ මේ අන්තවාදීන්ගෙන් මෙම පුදබිම නිදහස් වී ඇති බැවිනි. 28 වැනිදා කූරගල සිදු කෙරෙන මේ මහා පින්කමේ පැවැත්විණි. වර්තමානයේ කූරගල, බුදුගල, ගල්ටැම්යාය නමින් හඳුන්වන ප්‍රදේශ සියල්ලම පුරාණයේ එකම ආරණ්‍ය සේනාසන සංස්ථාවකට අයත්ව තිබුණු බව දැනගන්නට ඇත.

මේ වන විටත් කන්ද මුඳුනේ ඉදිකිරීම් වෙනුවෙන් අවශ්‍ය ගොඩනැගිලි ද්‍රව්‍ය ඉහළට ගෙන යාම පිණිස බොහෝ පිරිස් පැමිණ දායකත්වය දක්වති. මෙය තවත් එක් විහාරස්ථානයක් ඉදි කිරීමක් නොවන බවත් ලාංකීය උරුමයක් රැක දීමකි. කූරගල අසදිසි ශාක්‍ය සුගත මහා සෑය ලබන වසරේ පෙබරවාරි මස 4 වැනිදාට යෙදෙන නිදහස් දිනයේ විවෘත කිරීමට පවා දින යොදා ගෙන තිබේ. නෙල්ලිගල හාමුදුරුවන්ගේ නිසි සැලැස්ම එයින් මනාව පැහැදිලිය. කූරගල පුදබිම සම්බන්ධයෙන් කළ හැකි උපකාර හෝ ශ්‍රම දායකත්වය ගැන යම් විමසීමක් අවශ්‍ය වන්නේ නම් දුරකතන අංක 0117373731 / 0117373730, හෝ 0761737373 (අමිල) මඟින් විමසීම් කළ හැකිය.

ඉදි කිරීම් සඳහා අවශ්‍ය ගල්, වැලි, සිමෙන්ති ඇතුළු ඕනෑම භාණ්ඩයක් ඒ සඳහා පරිත්‍යාග කළ හැකිය. එමෙන්ම මූල්‍ය ආධාර පවා ලබා දිය හැකිය. සියලු මූල්‍ය ආධාර කූරගල රජමහා විහාරය නමින් බළන්ගොඩ සම්පත් බැංකුවේ ඇති ගිණුම් අංක 009760006000 වෙත යොමු කළ හැකිය.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් 2013 අප්‍රේල් මස සිට දෙසැම්බර් දක්වා බලංගොඩට නුදුරු කූරගල සිදුකරන ලද කැනීම් කටයුතුවල කාල නිර්ණ වාර්තා ඇමෙරිකා එක්සත් ජනපදයේ බීටා ඇනලයිසීස් ආයතනය මඟින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වෙත එවා ඇති බව එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

  • අශන්ති වරුනසුරිය

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.