ජිනීවා බලපෑමට නොබියව මුහුණ දෙනවා – ජනාධිපති කියයි

ජිනීවා බලපෑමට අපි නොබියව මුහුණ දෙන බවත් ඊට යට නොවි ඉන්න පුළුවන් නිදහස් රටක් බැවින් ඉන්දීය සාගරයේ බල අරගලයට අපි ගොදුරක් වන්නේ නැතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අද (27) දින මාතර දිස්ත්‍රික්කයේ, පිටබැද්දර ප්‍රදේශයේ පැවති “ගම සමග පිළිසඳර” 16 වැනි වැඩසටහන සහභාගී වෙමින්ය.

පැවති රජයේ අනුවණ ක්‍රියාපිළිවෙත හේතුවෙන් ජාතික ආරක්ෂාව බිඳ වැටී තිබුණ නිසා පාස්කු ඉරිදා ප්‍රහාරය එහි ප්‍රතිඵලයක් වූ අතර අභූත චෝදනා නගමින් රණවිරුවන් සිරගත කෙරිණ.

ජිනීවා යෝජනාවට සම අනුග්‍රහය දක්වා රටේ ස්වෛරීත්වය බිඳ දමනු ලැබීය. හීලෑ අලි ඇතුන් පිළිබඳ ප්‍රශ්න ඇති කර සංස්කෘතිය, ආගම හා බැඳුණු උරුමය විනාශ කිරීමට උත්සාහ කෙරිණ .

MCC ගිවිසුම, නැගෙනහිර පර්යන්තය වැනි ගිවිසුම්වලට එළැඹ රට දැවැන්ත අර්බුදයකට ඇද දමනු ලැබීය. අද ඒවාට විසඳුම් දෙමින් සිටින බව ජනාධිපතිවරයා පැවසීය.

සියලු ප්‍රශ්න ඇති කළ සහ ඒවාට සහය දුන් පිරිස් වත්මන් රජයට එරෙහිව උද්ඝෝෂණය කරන බව පෙන්වා දෙන ජනාධිපතිවරයා හිටපු ආණ්ඩුවේ ප්‍රබලයන් අද කතා කරන්නේ සහ හැසිරෙන්නේ කිසිදිනක බලයේ නොසිටි අය මෙන් බව සඳහන් කළේය. පදනම් විරහිත චෝදනා ගැන කතා කිරීම තමාගේ ප්‍රතිපත්තිය නොවූවත්, සත්‍යය පහදා දෙනු පිණිස ඔවුනට උත්තරදීමට සිදුව ඇතැයි ඔහු කීය.

දේශීය, විදේශීය බලවේග සහ ඔවුන්ට සහය දෙන මාෆියා කණ්ඩායම් බොරු නිර්මාණය කොට ජනතාව මුලා කරමින් සිටින බව ජනාධිපති පෙන්වා දුන්හ.

කරන දේ නිවැරදිව නොදැක වැරදි මතවලට රැවටුණහොත් පසුගිය වසර පහ තුළ උද්ගත වූ හානිය නැවත ඇතිවිය හැකිය. එසේ වුවහොත් සිදු වන හානිය නිවැරදි කිරීම පහසු නොවනු ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.