ජිනීවා පරාජය විදේශ අමාත්‍යංශ ලේකම් භාර ගත යුතුයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් වූ යෝජනාව පරාජය කිරීමට අසමත් වීමට විදේශ අමාත්‍යාංශයේ ලේකම් ජයනාත් කොළඹගේ මහතා වගකිව යුතු යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා සඳහන් කරයි.

මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ විදේශ ලේකම්වරයා පසුගිය කාලයේ සිදු කල ඇතැම් ප්‍රකාශ ඇතැම් රටවල් වලට තීන්දුවට බලපෑ බවයි.

ඇතැම් අවස්ථාවල විදේශ ලේකම්වරයා තමා කාර්යභාරයට හදිසි වැට පනින බවත් ඉන්දියාව නිශ්චිත තීරණයක් ගැනීමට පෙරම විදේශ ලේකම්වරයා ඉන්දියාව සහයෝගෙන් දක්වන බවට ප්‍රකාශ කළ බවත් මන්ත්‍රීවරයා පැවසීය.

ජාත්‍යන්තර දේශපාලනය පිළිබඳ අත්දැකීම් ඇති රාජ්‍ය තාන්ත්‍රික කටයුතු දන්නා අයකු විදේශ ලේකම් ලෙස පත් කළේ නම් මීට වඩා සාර්ථකත්වයක් අත්කර ගැනීමට තිබූ බවද මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

මේ අතර ජාතික නිදහස් පෙරමුණේ ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා ප්‍රකාශ කළේ ඉන්දියාව මානව හිමිකම් දඬු අඩුව යොදාගනිමින් අපේ රටේ ජාතික සම්පත් කොල්ලකෑමට ගන්නා උත්සාහය යළිත් මෙවර ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ දී ඔවුන් හැසිරුණු ආකාරයෙන් තහවුරු වී ඇති බවත් එම ක්‍රියා පිළිවෙත දැඩි පිළිකුලෙන් යුතුව හෙළාදකින බවයි.

පසුගිය ආණ්ඩුවට මේ සඳහා කොන්දක් තිබුණේ නැහැ. ඒ නිසයි ඔවුන් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ගෙන ආ ශ්‍රී ලංකාවට එරෙහි 30/1 සහ 40/1 යෝජනා සඳහා සමඅනුග්‍රාහකත්වය දැක්වූයේ. සමඅනුග්‍රාහකත්වය දැක්වූවා පමණක් නොවෙයි එම යෝජනා මාලාවේ නිර්දේශ එකිනෙක ක්‍රියාවට නැංවූවා. රණවිරු දඩයම, විශේෂයෙන් බුද්ධි අංශ අකර්මණ්‍ය කිරීම, ෆෙඩරල් ව්‍යවස්ථාවක් ගෙන ඒමට අවශ්‍ය කටයුතු සිදු කිරීම පෙන්වාදිය හැකියි.

විශේෂයෙන් බුද්ධි අංශ දුර්වල කිරීමේ ප්‍රතිඵලයක් වූයේ පාස්කු ප්‍රහාරය එල්ල කිරීමයි. ඒ විදිහට කොන්ද නමමින් යහපාලන ආණ්ඩුව කළ පාවාදීම් නතර කරමින් එම රටට එරෙහි යෝජනාවලින් ඉවත් වීමට අපේ ආණ්ඩුව ක්‍රියා කළා. කොටි ත්‍රස්තවාදීන්ට ආයුධවලින් කරගන්න බැරිවුණු වැඩේ දෙමළ ඩයස්පෝරාවට ජාත්‍යන්තර මානව හිමිකම් අවිය යොදාගෙන ඉටු කරගන්නට වුවමනා වුණා.

නමුත් අපට ඉතා කණගාටුයි ‘අපේ අසල්වැසියා, ලොකු අයියා’ කියන ඉන්දියාව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ දී හැසිරුණු ආකාරය ගැන. එහිදී ඔවුන් ඉතා පැහැදිලිව යළිත් සනාථ කළා ‘ඉන්දියාව කියන්නේ ශ්‍රී ලංකාවට හැමදාම වින කරන රටක් යැයි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.