“ව්‍යාජ ෆේස් බුක්” පිටුවකට එරෙහිව ජ.වි.පෙරමුණෙන් CID යට පැමිණිල්ලක්

‘ජේ.වී.පී. පරිසරවේදියෝ’ කියලා ව්‍යාජ ෆේස් බුක් පිටුවක් සමාජ ජාල මාධ්‍ය හරහා නිර්මාණය කිරීමට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් සිදු කිරීමට පියවර ගෙන ඇතැයි ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

එම පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේ ජනතා විමුක්ති පෙරමුණ සමාජය අතර අප්‍රසාදයට පත් කිරීමේ අරමුණින් මෙම ව්‍යාජ ෆේස් බුක් පිටුව නිර්මාණය කර ඇති බවයි.

යම් කණ්ඩායමක් විසින් විවිධ බොරු ප්‍රවෘත්ති නිර්මාණය කරන බවත් මේ පිටුව සතියකට ආසන්න කාලයකදී, නිර්මාණය කර තිබෙන්නේ මේ රටේ පරිසර විනාශය පිළිබඳව මුහුණු පොතේ සිදුවන සංවාදය විකෘති කිරීම සඳහා බවත් ඔහු පවසයි.

මේ ෆේස් බුක් පිටුව යොදා ගෙන ලෝකයේ විවිධ ස්ථානවල සිදුකෙරෙන පරිසර විනාශයන් ලංකාවේ යැයි කියා උලුප්පා දක්වමින් මෙහි සිදුකරන සත්‍ය පරිසර විනාශය යටපත් කිරීමේ ප්‍රයත්නයක් දරන බව අපි දැක්කා. මේ ෆේස් බුක් පිටුව උපයෝගී කරගෙන ජනාධිපතිවරයා අපි පිළිබඳව යම් වැරදි අර්ථකථනයක් නිර්මාණය කර තිබෙනවා.

අඩුම තරමින් ජනාධිපතිවරයා හෝ ඔහුගේ මාධ්‍ය අංශය ෆේස් බුක්වල ක්‍රියාකාරිත්වයේ තිබෙන ඇත්ත ගිණුම් සහ ව්‍යාජ ගිණුම් හඳුනාගන්න සමත් වී නොමැති බවත් ‘ජේ.වී.පී. පරිසරවේදියෝ’ යැයි කියන ගිණුම ජනතා විමුක්ති පෙරමුණේ යැයි හඟවමින් ආණ්ඩුවට පක්ෂපාතී ලෙස ප්‍රවෘත්ති නිර්මාණය කිරීම වෙනුවෙන් යොදා ගන්නා තමන්ගේ කඳවුරේම ව්‍යාජ ගිණුමක් බවත් දිසානායක මහතා පවසයි.

ඒ ව්‍යාජ ගිණුම උපයෝගී කරගෙන සමාජය තුළ අපේ පක්ෂය කෙරෙහි වෙනස් සැකයක්, බොරු ප්‍රවෘත්ති නිර්මාණය කරනවා යැයි අදහසක් ජනතාව තුළ ඇති කිරීමට ජනාධිපතිවරයා යොදාගෙන තිබෙනවා. ව්‍යාජ ගිණුමක තොරතුරු උපුටා දක්වමින් කරුණු ඉදිරිපත් කරන්න තරම් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා බංකොලොත් වීම පිළිබඳව නම් අපිට කනගාටුවක් ඇතැයි ඔහු පවසයි.
එම නිසා නිසා මෙම ගිණුම පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් අප බලාපොරොත්තු වන්නේ ‘ජේ.වී.පී. පරිසර වේදියෝ’ කියන මෙම ගිණුම ආරම්භ කළේ කවදාද? ආරම්භ කළේ කවුරුන් විසින්ද? එම ගිණුම මුදල් ගෙවා ප්‍රවර්ධනය කිරීමට උපයෝගී කරගෙන තිබෙන ක්‍රෙඩිට් කාඩ්පත කාගේ නමටද තිබෙන්නේ? යන ගැටළුව විසඳා ගැනීමට බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.