ශ්‍රී ලංකා සහ බංග්ලාදේශ අවබෝධතා ගිවිසුම් 06කට අත්සන් තබයි

ශ්‍රී ලංකා බංග්ලාදේශ ද්විපාර්ශවීය සාකච්ඡා දෙරටේ අග්‍රාමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (20) දින පෙරවරුවේ ඩකා නුවර පිහිටි බංග්ලාදේශ අග‍්‍රාමාත්‍යය කාර්යාලයේ දී පැවැත්විණි.ආර්ථික, ආයෝජන, වෙළඳ, තාක්ෂණ, කෘෂි සහ ධීවර කර්මාන්තය හා දේශපාලන සබඳතා ඉදිරියට ගෙනයාම පිළිබඳව මෙහි දී අවධානය යොමු විය.

කොවිඩ්19 වසංගතය පාලනය කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කරමින් සිටින ආකාරය මෙහි දී බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනා මහත්මියගේ ඇගයීමට ලක්වූවාය.

රට විවෘත කර එන්නත් ලබාදීමේ කාර්යය වේගවත් කිරීම ඔස්සේ වසංගතය පාලනය වන අකාරය තේරුම් ගත හැකි බව කී අග්‍රාමාත්‍යතුමිය, බංග්ලාදේශ ජනතාව ආරක්ෂා කර ගැනීම සඳහා විශේෂ ක්‍රියාමාර්ග ගත් බව හෙළි කළාය.වෛද්‍ය සේවා සැපයීම මෙන්ම ජීවනෝපායන් ශක්තිමත් කිරීම උදෙසා එරට ජනතාවට දිරි දීමනා හඳුන්වා දුන් බව ද ඇය පැවසුවාය.සාක් සංවිධානයේ කොවිඩ්-19 හදිසි අරමුදල (SAARC Covid-19 Emergency Fund) යටතේ වසංගතය පාලනය කිරීමට අදාළ වෛද්ය උපකරණ තොගයක් නොබෝ දිනකින් ශ්‍රී ලංකාවට එවන බව බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනා මහත්මිය මෙහි දී විශ්වාසය පළ කළාය.කලාපීය ආර්ථික සහයෝගීතාව වර්ධනය වන ආකාරයට කලාපයට අනන්ය වූ ආර්ථිකයක් ගොඩනැගීමේ යෝජනාව බංග්ලාදේශ අගමැතිනිය මෙහි දී දූත පිරිසේ අවධානයට යොමු කළාය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද ඒ සම්බන්ධයෙන් සිය අවධානය යොමු කළේය.ශ්‍රී ලාංකේය සිසු සිසුවියන්ට බංග්ලාදේශ විශ්ව විද්‍යාලයන්හි අධ්‍යාපනය හැදෑරීමේ අවස්ථාව ඇති බව සඳහන් කළ අගමැතිනි ෂෙයික් හසීනා මහත්මිය උසස් අධ්‍යාපනය සඳහා ශ්‍රී ලාංකේය සිසු සිසුවියන්ට එරටට පැමිණෙන්නැයි ආරාධනා කළාය.

දෙරට අතර ගුවන් ගමන් සේවා පුළුල් කරමින් සංචාරක කර්මාන්තය සහ වෙළඳාම් වැඩි දියුණු කර ගැනීම පිළිබඳවද මෙම සාකච්ඡාවේ දී දෙරටේ දූත පිරිස අතර අවධානය යොමු වූහ.

ඔබ කැමති කලක් මෙහි රැඳෙන්න. ඔබගේ නිවසේ සිටිනවාක් මෙන් හැඟෙන පරිද්දෙන් අප ඔබ සඳහා ආගන්තුක සත්කාර ඉටුකරනවා. අප අතර පවතින ඓතිහාසික බැඳීම ඒ තරම්ම ප්‍රබල යැයි බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනා මහත්මිය මෙහි දී පැවසුවාය.

ව්‍යාපාරික වශයෙන් දෙරට අතර පවතින සබඳතාවන් ඉහළ නැංවීම පිළිබඳව ශ්‍රී ලාංකේය දූත පිරිස අදහස් පළ කළහ. ඊට ප්‍රතිචාර දැක්වූ බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනා මහත්මිය බංග්ලාදේශය නිරන්තරයෙන් ඔබ සමඟ යැයි කීවාය.නිල සංචාරයක් සඳහා ලබන වසරේ දී ශ්‍රී ලංකාවට පැමිණෙන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහි දී බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනා මහත්මියට ආරාධනා කළේය. ඇය එම ආරාධනය සාදරයෙන් පිළිගනු ලැබුවාය.බංග්ලාදේශ අගමැතිනිය, මෙහි දී පෞද්ගලික සංචාරයක් සඳහා නැවත බංග්ලාදේශයට පැමිණෙන්නැයි අග‍්‍රාමාත්‍යය මහින්ද රාජපක්ෂ මහතා සහ එම පවුලේ සාමාජිකයන්ට ආරාධනාවක් කළාය.

පසුගිය වසරවල බංග්ලාදේශය හා ශ්‍රී ලංකාව අතර අත්සන් තැබුණු ගිවිසුම් ක්‍රියාත්මක කිරීම සඳහා ඒකාබද්ධ උපදේශන කොමිෂම යළි යාවත්කාලීන කිරීම පිළිබඳව ද මෙහි දී දෙරටේ දූත පිරිසේ අවධානය යොමු විය.

ශ්‍රී ලංකාවේ දේශගුණයට ගැලපෙන බංග්ලාදේශයේ වී ප්‍රභේද මෙරටට ලබා දීමටත්, එරට මිරිදිය කර්මාන්තය දියණු කිරීම සඳහා ශ්‍රී ලංකාවේ සහයෝගය ලබා දීමටත් දෙරටේ දුත පිරිස එකඟතාවයකට පැමිණියහ.මෙයට අමතරව බංග්ලාදේශ හා ශ්‍රී ලංකා මහ බැංකු අතර සහයෝගිතාව තාක්ෂණික මට්ටමෙන් වැඩිදියුණු කරගැනීම පිළිබඳව ද අවධානය යොමු විය.දෙරට අතර රාජතාන්ත්‍රික සබඳතා සඳහා ලබන වසරට අවුරුදු 50ක් සම්පූර්ණ වීම හා ඒ ඔස්සේ පුළුල් දේශපාලන සබඳතාවන් ද්විපාර්ශවීය වශයෙන් ශක්තිමත් කර ගැනීම පිළිබඳව ද අදහස් හුවමාරු විය.

ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීම සහ මිනිස් ජාවාරම් මැඩලීමට අවශ්‍ය ක්‍රියාදාමයන් සඳහා දෙරටේම එකඟතාව හිමිවිය.ද්විපාර්ශවීය සාකච්ඡා අවසානයේ දෙරටේ අග්‍රාමාත්‍යවරුන් ඉදිරිපිට ශ්‍රී ලංකා – බංග්ලාදේශ ද්විපාර්ශවීය අවබෝධතා ගිවිසුම් 6ක් සඳහා දූත පිරිස අත්සන් තැබූහ. තරුණ කටයුතු සංවර්ධනය ශක්තිමත් කිරීම, කෘෂිකර්මික පර්යේෂණ, වෘත්තිය දැනුම හුවමාරුකරගැනීම, සෞඛ්‍ය හෙද කාර්ය මණ්ඩල පුහුණුකිරීම, අන්තර්ජාතික සහයෝගිතා අධ්‍යනය සහ 2021-2025 දක්වා අන්තර් හුවමාරු සංස්කෘතික වැඩසටහනක් සඳහා මෙසේ දෙරට අතර අවබෝධතා ගිවිසුම් අත්සන් කෙරිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.