දුම්කොළ පනත උල්ලංඝනය කළ කුරුඳු සිගරැට්ටුවට එරෙහිව NATA අධිකරණයට

ඉන්දික ශ්‍රී අරවින්ද

මේ වනවිට මහත් ආන්දෝලනයකට ලක්ව ඇති ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට කුරුඳු ශාකය යොදා ගනිමින් නිෂ්පාදනය කළ ආයුර්වේද ධූමපාන හෙවත් කුරුඳු සිගරැට්ටුවට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය (NATA) පවසයි.

එම අධිකාරියේ නීති නිලධාරී විරාජ් බණ්ඩාරනායක මහතා Colombo Gazette වෙත ප්‍රකාශ කළේ එම සිගරැට්ටුව සඳහා රාජ්‍ය මට්ටමේ කිසිදු ආයතනයකින් අනුමැතියක් ලබා නොගෙන ජනගත කිරීමක් සිදු කිරීම නීති විරෝධී ක්‍රියාවක් බවයි.

මෙම නිෂ්පාදනය සඳහා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ කිසිදු අනුමැතියක් ලබා දී නොමැති බව එම ආයතන විසින් දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය (NATA) වෙත දැනුම් දී ඇත.

මෙම කුරුඳු සිගරැට්ටුව සම්බන්ධයෙන් මහජනයා අතර සමීක්ෂණ ක්‍රියාවලියක් හෝ සිදුකර නොමැති අතර එහි කිසිදු සවිස්තර වාර්තාවක් මේ වනවිටත් තම අධිකාරිය වෙත ලබා දී නොමැති බැවින් එය වෙළඳ පොළට නිකුත් කිරීමේ බලයක් අදාල සමාගමට නොමැති බව එහි නීති නිලධාරිවරයා අවධාරණය කරයි.

යම් ලෙසකින් මෙම කුරුඳු සිගරැට්ටුව කුඩා ළමුන් අතර වයස් සීමාවකින් තොරව භාවිතයට ගතහොත් එය පාලනය කිරීමට ද හැකියාවක් නොමැත.

මෙය නිෂ්පාදනය සිදු නොකරන ලෙස ලිඛිතව එම සමාගමට දැනුම් දී තිබුණත් එය පිළි නොගෙන තව දුරටත් සිගරැට්ටුව නිෂ්පාදනය කිරීම තුළින් මෙවැනිම අදේශකයන් මෙන් තවත් නිෂ්පාදන වෙළඳ පොළට පැමිණීමේ ඉඩකඩ ඇති බව නීති නිලධාරී බණ්ඩාරනායක මහතා පෙන්වා දෙයි.

මෙම කුරුඳු සිගරැට්ටුව නිෂ්පාදනය කිරීම තුළින් දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ පනතේ 38 – 2 වගන්තිය උල්ලංඝනය කරමින් සිගරැට්ටුවට සමාන ලෙසම නිර්මාණය කර එළිදැක්වීම නීතියට පටහැනි බව ඔහු පවසයි.

මේ සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවන් ලබා දෙන ලෙසට ආයුර්වේද දෙපාර්තමේන්තුවටත්,සෞඛ්‍ය අමාත්‍යංශයටත්, කර්මාන්ත අමාත්‍යංශයටත්,බුද්ධිමය හා දේපළ පිළිබඳ කාර්යාලයටත් දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය (NATA) විසින් දැනුම් දී තිබේ.

එම වාර්තා පදනම් කරගෙන ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සුදානම් බව දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ (NATA) නීති නිලධාරී විරාජ් බණ්ඩාරනායක මහතා පවසයි.

කුරුඳුවලින් නිෂ්පාදිත ආයුර්වේද ධූමපානක් ලෙස මෙම කුරුඳු සිගරැට්ටුව ජනගත කිරීමපසුගිය දා (17) කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී එළිදැක්විය.

මෙම කුරුඳු දුම්වැටිය නිෂ්පාදනය නතර කරන ලෙසට දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය විසින් දැනුම් දී ඇති පසුබිමක දී මෙම නිෂ්පාදනය ජනගත කෙරුණේ.

සියයට සියයක් ශ්‍රී ලාංකීය කුරුදුවලින් නිෂ්පාදනය කළ Lion Heart ලෙස නම් කර ඇති මෙම ආයුර්වේද ධූමපාන නිපැයුම්කරු වන්නේ සමන්ත පුංචිහේවා මහතා ය.

මෙරට අමුද්‍රව්‍ය මත පදනම් වූ මේ ධූමපාන තදින් දුම්පානයට ඇබ්බැහි වූ අයෙකුට ඉන් මිදිය හැකි ආදේශයක් බව ද පවසන අමාත්‍යවරයා මෙරට නිෂ්පාදන ක්ෂේත්‍රයේ යෝධ පිම්මක් තබනු ඇතැයි තමා විස්වාශ කරන බව පැවසිය.

බහුජාතික සමාගම්වල අනුදැනුම හා මෙහෙයවීම මත සමහර රජයේ ආයතන මේ නව නිපැයුමට “බාල්දි පෙරළීමට” බලා සිටින බව පවසන අමාත්‍යවරයා අවධාරණය කළේ නීති පොතේ කුමන වගන්ති පැවතියද නව නිෂ්පාදනකරුවෙකගේ නිෂ්පාදන ඉදිරියට ගෙන යාමට කර්මාන්ත ඇමැතිවරයා ලෙස තමන් කැප වන බවය.

කුරුඳුවලින් නිෂ්පාදිත ආයුර්වේද ධූමපාන නිෂ්පාදන ක්ෂේත්‍රයේ හැරවුම් ලක්ෂයක් බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.

ලංකාවේ නීති පද්ධතිය සකස් වී ඇත්තේ නව නිපයුම්කරුවන් ඉදිරියට ගෙන යාමට නොව හිරේ දැමීමට නිසා නීතිය වෙනස් කොට නව නිපැයුම්කරුවන් දෙස සාධාරණව බැලිය යුතු බව ද අමාත්‍යවරයා පවසයි.

නව රැකියා ලක්ෂයක් පමණ උත්පාදනය කරමින් වසරකට ඩොලර් බිලියනයක පමණ අපනයන ආදායමක් රටට ගෙන ඒමට ඉලක්ක කර තිබේ.

“මේ රටේ ජනතාවගේ සෞඛ්‍ය, දුම්කොළ සහ මද්‍යසාර වලින් ආරක්ෂා කිරීමේ වගකීම අපගේ අධිකාරියට තිබෙන බවත් අපේ පනතේ 2006 ඉඳලම එය ඇති බවත් දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ (NATA) සභාපති වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතා පවසයි.
දුම්කොළ නිෂ්පාදනයක් සේ දර්ශනය වන දුම්කොළ නිෂ්පාදනයක් නොවන යම් ද්‍රව්‍යයක් කිසියම් තැනැත්තෙකු විසින් නිෂ්පාදනය කිරීම හෝ විකිණීම, විකිණීම සඳහා ආනයනය කිරීම හෝ නොමිලේ බෙදාහැරීම නොකළ යුතුය කියා. එම පනත පදනම් කරගෙන මෙම කුරුඳු සිගරැට් නිෂ්පාදනය නතර කරන්නැයි ලිඛිතව එම සමාගමට දැනුම් දුන්නේ.“ යැයි ඔහු පවසයි.

දේශීය සමාගමක් නවෝත්පාදනයක් කරමින් රටේ ආර්ථිකය නැංවීමට දායකත්වයක් දැක්වීමට සූදානම් වෙද්දී බහු ජාතික සිගරැට් සමාගම් වල වුවමනාවට මෙම ව්‍යාපෘතිය නතර කිරීමට දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය කටයුතු කරමින් ඇතැයි චෝදනාවක් යමෙකුට එල්ල කළ හැකි යැයි අධිකාරියේ සභාපති සමාධි රාජපක්ෂ මහතා අවධාරණය කරයි. වැඩිදුරටත් අවධාරණය කරයි.

මේ සම්බන්ධයෙන් රසායනාගාර වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා ප්‍රකාශ කළේ රජයක් ලෙස මෙවැනි එළිදක්වීම්වලට ඇමතිවරු මැදිහත්විය යුතු නොමැති බවත් දුම්බීම කෙසේ හෝ ශරීරයට අහිතකර ලෙස යම් බලපෑමක් එල්ල කරන බවයි.

එහෙත් එහි ගුණ,අගුණ පිළිබඳව සොයා බැලීම විද්‍යාත්මකව සිදුකළ කටයුක්තක් බැවින් ඒ ගැන සොයා බැලීම සෞඛ්‍ය අංශයේ වගකීමක් බව ඔහු පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.