රට තුළ ගෑස් හිඟයක් නොමැති අතර උත්සව සමයේ ගෑස් මිල ඉහළ දැමීමේ අවශ්‍යතාවක් නොමැති බව මුදල් අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අරලියගහ මන්දිරයේ දී ප්‍රකාශ කළේය.
වර්තමාන ආර්ථික තත්ත්වය හා වෙළඳ පොළ සම්බන්ධයෙන් පැවති සමාලෝචන සාකච්ඡාවට එක්වෙමින් මහින්ද රාජපක්ෂ මහතා මේ බව අවධාරණය කළේය.
මෙහි දී සහල්, පොල්, කිරිපිටි, මාළු,මස්, බිත්තර, පරිප්පු හා ධාන්‍ය, ලොකු ලූණූ හා රතු ලූණු, අර්තාපල්, එළවළු සහ පළතුරු මෙන්ම ගෑස් සඳහා පාරිභෝගිකයින්ට සහන සැලසීම පිළිබඳව අගමැතිගේ අවධානය යොමු විය.
කොවිඩ්-19 වසංගතයට සමඟාමීව සැපයුම් ජාල අඩපනවීම, විනිමය අනුපාත වෙනස්වීම හා සහල් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල ඉහළ යාමත්, ගෑස් සමාගම් විසින් මිල ඉහළ දැමීම සඳහා කරනු ලබන ඉල්ලීම් පිළිබඳවත් වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මෙම සාකච්ඡාවේ අවධානය යොමු කළේය.
මෙහි දී මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ අංශය වාර්තාවක් ඉදිරිපත් කරමින් කොවිඩ්-19 වසංගතය සමඟ ගෝලීය ආර්ථිකයේ අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යමින් තිබෙන බව පෙන්වා දුන්නේය. එමෙන්ම ආනයන පාලනය ලිහිල් කළහොත් වෙළඳ හිඟය වැඩිවිය හැකි බව මහ බැංකු නියෝජිතයෝ පෙන්වා දුන්හ.
ඒ අනුව දේශීය කෘෂිකර්මාන්තය නගා සිටුවීමත්, දේශීය ව්‍යාපාර ශක්තිමත් කරමින් වෙළඳ භාණ්ඩ අපනයනයනයටත් යොමු වෙමින් විදේශ විනිමය රැස්කර ගැනීමට අවශ්‍ය බව මහ බැංකු නියෝජිතයෝ පැහැදිළි කළහ.
ශ්‍රී ලංකා රේගුවේ අත්අඩංගුවට පත් සහල් මෙට්‍රික් ටොන් තුන්දහසකට ආසන්න ප්‍රමාණය සතොස හරහා ජනතාවට බෙදා දීමේ වැඩපිළිවෙළක් සකස් කළ හැකිදැයි ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා මෙහි දී විමසා සිටියේය.
භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල මහතා ඊට එකඟත්වය පළ කළ අතර රේගු අධ්යක්ෂ ජනරාල් ජී.වී රවිප්‍රිය මහතාට ඒ සඳහා අවශ්‍ය පියවර ගන්නැයි අගමැති උපදෙස් දුන්නේය.
මෙයට අමතරව වී අලෙවි මණ්ඩලය සතු සහල් සංචිත වෙළඳ පොළට නිකුත් කිරීම සහ තවත් මෙට්‍රික් ටොන් 25000ක් පමණ දේශීය සහල් ව්‍යාපාරිකයන්ගෙන් මිලදී ගැනීමට ද මෙහි දී අවධානය යොමු විය.
රට තුළ සහල් හිඟයක් නොමැති බව කී ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා මෙරට පරිභෝජනයට අවශ්‍ය තරම් සහල් රට තුළ නිෂ්පාදනය වී ඇති බව හෙළි කළේය.
ගෑස් මිල වැඩිකරන්නැයි කෙරෙන බලපෑම් සම්බන්ධයෙන් අදහස් පළ කළ බැසිල් රාජපක්ෂ මහතා, කොවිඩ්-19 වසංගතය සමඟ ලෝක ගෑස් මිල පහත වැටී තිබූ අවධියේ එම ලාභය අදාළ සමාගම් විසින් හිමිකරගත් බවත් එදා පෞද්ගලික අංශයේ සේවකයන්ගේ පවා රැකියා ආරක්ෂා කරමින් රජය ගත් පියවරට වර්තමානයේ සහය ලබා දීම යුතුකමක් බවත් කියා සිටියේය.