ක්‍රිකට් කණ්ඩායමට දඩයක්

බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව ඇන්ටිගුවාහි පැවැති තෙවැනි එක්දින තරගයේදී නියමිත වේලාවට පන්දුවාර සංඛ්‍යාව යැවීමට අපොහොසත්වීම මත ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ තරග ගාස්තුවෙන් 40% ක මුදලක් දඩ වශයෙන් ගෙවීමට නියම කර ඇත.

නියමිත පන්දුවාර 50 යවා අවසන් වීමට නියමිත කාලයට වඩා පන්දුවාර 2 ක කාලයක් ඒ සදහා ගත කිරීම මත දිමුත් කරුණාරත්න ඇතුළු පිරිවරට එරෙහිව එම දඩ මුදල පැනවීමට එම තරගයේ තීරකවරයා ලෙසින් කටයුතු කරන ලද රිචී රිචර්ඩ්සන් මහතා පියවර ගෙන තිබේ.

එළැඹෙන 2023 වසරේදී පැවැත්වෙන පන්දුවාර 50 ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීම වෙනුවෙන් පැවැත්වෙන ලෝක කුසලාන සුපිරි ලීග් තරග වටයේ කොන්දේසිවලට අනුව, ප්‍රමාදවන සෑම පන්දුවාරයක් වෙනුවෙන් ක්‍රීඩකයින්ගේ තරග මුදලින් 20% ක් දඩ වශයෙන් ගෙවීමට සිදුවනු ඇත. ඒ අනුව පන්දුවාර 2 ක් ප්‍රමාද වීම මත ක්‍රීඩකයින්ගේ තරග මුදලින් 40% ක් දඩ වශයෙන් ගෙවීමට සිදුව තිබේ.

එම දඩයට අමතරව ලෝක කුසලාන තරගාවලිය සඳහා වන සුපිරි ලීගයේදී ප්‍රමාද වන සෑම පන්දුවාරයක් සඳහාම කණ්ඩායමක් උපයා ගනු ලබන ප්‍රසාද ලකුණු වලින් ලකුණක් අඩු කරනු ලැබේ.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවන ප්‍රසාද ලකුණු වලින් මේ වන විටත් ලකුණු 2 ක් අහිමිවී තිබේ.

මේ අතර එම තරගය අතරතුරදී ක්‍රීඩක චර්යාධර්ම පද්ධතියේ පළවැනි මට්ටමේ වගන්තියක් උල්ලංඝණය කළේ යැයි ශ්‍රී ලංකා පිලේ ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලකට තදින් අවවාද කිරීමටද තරග තීරකවරයා පියවර ගෙනඇති අතර නිකලස් පූරාන් දැවී යෑමෙන් පසු ක්‍රීඩකය චර්යාධර්ම පද්ධතිය උල්ලංඝණය වන අයුරින් හැඟ වෙන ලෙස ක්‍රියා කළේ යැයි හැඟී යෑම නිසා ගුණතිලකට අවවාද කිරීමට තරගතීරක පියවර ගෙන තිබේ.

                                                                                      ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.