හිතුවෙ අරාබි රටක ෆොටෝ කියලද..? මේ රඹකැන් ඔය දැවැන්ත වන විනාශය

ඉන්දික ශ්‍රී අරවින්ද

අම්පාර දිස්ත‍්‍රික්කයේ මහඔය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ගල්වලයාය වන රක්ෂිතය ලෙස ප‍්‍රකාශයට පත් කිරීමට යෝජිත හෙක්ටයාර 6790 ක් වන වනාන්තර පද්ධතියට අයත් වටවලකණ්ඩිය රජයේ වනාන්තරයයි.

වන සංරක්ෂණ ආඥා පනතේ 20 වෙනි වගන්තිය යටතේ පාලනය වන වනාන්තර ඇතුළුව හෙක්ටයාර 2233 ක් නැතහොත් අක්කර 5400 ක් පමණ පොල්ලේබැද්ද-රඹකැන්ඔය, කෘෂි බෝග හා සත්ව ගොවිපොළ ව්‍යාපෘතිය යටතේ සමාගම් වලට ලබා දීමට ශ‍්‍රී ලංකා මහවැලි අධිකාරිය මගින් නීතිවිරෝධීව කටයුතු කර තිබේ.

එසේ බදු දී ඇති භූමි ප‍්‍රදේශයෙන් කොටසක් මේ වනවිට ඩෝසර් යන්ත‍්‍ර භාවිත කර එළිපෙහෙළි කර තිබෙන අතර ශ‍්‍රී ලංකා මහවැලි අධිකාරිය මගින් සැලසුම් කළ මෙම ව්‍යාපෘතිය යටතේ කෘෂි බෝග සඳහා හෙක්ටයාර 1821 ක්, සත්ත්ව ගොවිපොළ සඳහා හෙක්ටයාර 352 ක් හා කෘෂි සංචාරක ව්‍යාපෘතිය සඳහා හෙක්ටයාර 60 ක් වශයෙන් ඉඩම් වෙන් කර ඇත.

අක්කර 5400 ක් පමණ වන මෙම භූමි ප‍්‍රදේශය වියළි මිශ‍්‍ර සදාහරිත වනාන්තර හා ඌවපතන් බිම් නැතහොත් සැවානා තෘණ භූමි වලින් සමන්විත ය.

මෙම ප‍්‍රදේශය ආදිවාසි ජනතාව ජීවත්වන මුල්ලේගම, ගල්වලයාය හා පොල්ලේබැද්ද යන ගම්මාන වලට යාබද ව පිහිටා ඇති අතර එම ජනතාව විසින් භාවිත කරන ප‍්‍රධාන වනාන්තර පද්ධතියකි.

මීට අමතර ව මෙම ප‍්‍රදේශයේ පාරම්පරික කිරි හරක් පට්ටි හිමිකරුවන් 30 ක් පමණ සිටින අතර එම වනාන්තර හා තෘණ භූමි කිරි ගවයින් 1500 කගේ පමණ ප‍්‍රධාන ආහාර බිමක් වේ.

මෙම ප‍්‍රදේශයේ නිල්ගල සැවානා තෘණභූමි පද්ධතිය හා සම්බන්ධ අලි – ඇතුන්ගේ ප‍්‍රධාන වාසස්ථානයක් ද වෙයි.

සමාගම් විසින් විදුලි වැටවල් සකස් කර මෙම වනාන්තර හා තෘණ බිම් පද්ධතිය එළිපෙහෙළි කර අලි – ඇතුන්ට අහිමි කිරීමෙන් වරාපිටිය, මහඔය නගරය, පදියතලාව, ගල්ලෝඩය, කැකිරිහේන හා සේරන්කඩ ආදී ප‍්‍රදේශ වලට එම සතුන් පිවිසීමෙන් උග‍්‍ර අලි – මිනිස් ගැටුමක් නිර්මාණය වනු ඇත.

ප‍්‍රධාන වශයෙන් ම බඩඉරිඟු වගාව සඳහා මෙම භූමිය සමාගම් වලට ලබා දී ඇති අතර එම ප‍්‍රදේශයේ කිරිගව පාලනයේ නිරත ජනතාව ඉවත් කර දීමට පොලීසිය විසින් සමාගම් වලට පොරොන්දු වී ඇත.

මේ සියල්ල ම මහවැලි අධිකාරිය මගින් සිදු කරමින් ඇත්තේ නීතියේ ආධිපත්‍යය සම්පූර්ණයෙන් ම උල්ලංඝනය කරමින් ජනතාවට නීතිය පිළිබඳ ව ඇති විශ්වාසය ද පලූදු කරමිනි.

සමාගම් වලට ඉඩම් ලබා දීමේ දී මහවැලි අධිකාරිය විසින් පාරිසරික අණ පනත් බොහොමයක් උල්ලංඝනය කර තිබේ.

2009 අංක 65 දරණ පනතින් අවසන් වරට සංශෝධිත 1907 අංක 06 දරණ වන සංරක්ෂණ ආඥා පනතේ 20 වන වගන්තිය සම්පූර්ණයෙන් උල්ලංඝණය කරමින් වනාන්තර ඉඩම් සමාගම් වලට ලබා දී ඇත.

සමාගම් වලට ලබා දුන් ඉඩම් වල වනාන්තර එළි පෙහෙළ කිරීම, ශාක කපා ඉවත් කිරීම, මාර් ග සකස් කිරීම, ස්ථීර හා තාවකාලික ගොඩනැගිලි ඉදිකිරීම, ඒවායේ පදිංචි වීම, වගා බිම් ස්ථාපිත කිරීම යන සියල්ල නීති විරෝධී වේ.

එවන් නීති විරෝධි ක‍්‍රියාවල නිරතව සිටින පුද්ගලයෙකු හෝ ඒ සඳහා අධාර හෝ අනුබල ලබාදෙන පුද්ගලයෙකු ද වරදකරුවකු වේ.

එවන් ක‍්‍රියාවක නිරතවන පුද්ගලයකු වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගෙන මහේස්ත‍්‍රාත් අධිකරණයකට ඉදිරිපත් කළ හැකි අතර එහි දී වරද කරුවකු කරණු ලැබූ විට වසර 2 ක් නොයික්මවන කාලයක් සඳහා බන්ධනාගාර ගත කිරීමක් හෝ රුපියල් 5000 ත් 50000 ත් අතර දඩයකට හෝ මේ දෙකටම යටත් කළ හැකි ය.

ඊට අමතර ව වනාන්තරයට සිදු කරණ ලද හානිය සඳහා අධිකරණය මඟින් නියම කරණ දඩයකට ද යටත් කළ හැකි වන අතර මේ දඩුවම් වලට රජයේ වනාන්තර ඉඩම් සමාගම් වලට බදු දුන් ශී‍්‍ර ලංකා මහවැලි අධිකාරිය හා රජයේ වනාන්තර එළිපෙහෙළි කිරීමේ නිරත සමාගම් වැරදිකරුවන් බවට පත් කළ හැකි ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.