බැංකු ණය නොගෙවූ ව්‍යවසායකයින්ට සහන කාලයක්

පාස්කු දින ප්‍රහාරය සහ කොවිඩ්-19 වසංගතය හේතුවෙන් බැංකු ණය ගෙවා ගැනීමට නොහැකි වූ ව්‍යවසායකයින්ගේ දේපළ අත්පත් කර ගැනීම වෙනුවට සහන කාලයක් ලබා දීම ගැන අවධානය යොමු කරන්නැයි ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බැංකු ප්‍රධානීන්ට දැනුම් දී ඇත.

බැංකු ණය ගෙවා ගැනීමට නොහැකි වූ ව්‍යවසායකයින්ගේ දේපළ අත්පත් කර ගැනීම තාවකාලිකව අත්හිටුවීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
ඒ අනුව ව්‍යවසායකයින්ගේ මූල්‍ය ගැටලුවලට සහන ලබාදීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශය, මහ බැංකුව සහ අදාළ බැංකු සමඟ එක්ව අවසන් තීන්දුවකට එළැඹෙන්නැයි අග්‍රාමාත්‍යතුමා උපදෙස් දුන්නේය.

දීර්ඝ කාලයක් තිස්සේ මෙවැනි ගැටලු පවතින නිසා කිසිදු පාර්ශවයකට අවාසියක් සිදු නොවන ආකාරයට ඒවා විසඳීම වැදගත් බව අග්‍රාමාත්‍යතුමා පෙන්වා දුන්නේය.

බැංකු ණය ගෙවා ගැනීමට නොහැකි ඕනෑම පාර්ශවයක් සහ බැංකු පාර්ශවයන්ට අතර මැදිව දෙපැත්තටම සාධාරණයක් සිදුවන ආකාරයේ ගැටලු විසඳාදෙන රජයේ මැදිහත්වීමක් අවශ්‍ය බව කී අග්‍රාමාත්‍යතුමා ඒ වෙනුවෙන් නෛතික බලයක් සහිත රජයේ ආයතනයක් හෝ බලධාරියෙකු සේවයේ පිහිටුවීම පිළිබඳව අවධානය යොමුකරන්නැයි පැවසීය.

ඒ ඔස්සේ ලීසිං ඇතුළු එක් එක් ක්ෂේත්‍රයන්ට අදාළව ණය හිමියන්ට සහන ලබා දීමේ හැකියාව පවතින බව අග්‍රාමාත්‍යතුමා කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.