හීලෑ අලි ඇතුන් හිඟය ජනපතිගේ අවධානයට

හිලෑ අලි ඇතුන්ගේ හිඟය නිසා පෙරහර මංගල්‍ය පැවැත්වීමේ දී මතුව ඇති ගැටළු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමු වී තිබේ.

මේ නිසා මතුව ඇති ගැටළු පිළිබඳව ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද (12) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී සාකච්ඡාවක් පැවැත්විණි.

ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහර මංගල්‍ය ඇතුළු සෙසු ඓතිහාසික පෙරහර මංගල්‍ය සඳහා අවශ්‍ය හිලෑ අලි ඇතුන් සොයා ගැනීමට නොහැකිවීමෙන් මතුව ඇති ගැටළු මෙහිදී ලෙස සාකච්ඡාවට ලක් විය.

80 දශකය වන විට ශ්‍රී ලංකාවේ හීලෑ අලි ඇතුන්ගේ සංඛ්‍යාව 300 ත් 350 අතර පැවතුන අතර එය මේවනවිට 107 දක්වා අඩුවී ඇති බව අනාවරණය වී තිබේ.

දැනට සිටින හිලෑ අලි ඇතුන්ගෙන් 80ක් පමණ වයස අවුරුදු 50 ඉක්මවා සිටින අය බැවින් ඔවුන්ව පෙරහර සඳහා යොදා ගැනීමට නොහැකි තත්වයක් මතුව ඇති බව මෙහිදී මහා සංඝරත්නය ජනාධිපතිවරයාට පෙන්වා දී ඇත.

පෙරහර චාරිකාවට සුදුසු අලියෙකු හෝ ඇතෙකු පුහුණු කිරීමට වසර 3 ක පමණ කාලයක් ගතවන බව හීලෑ අලි ඇතුන් හිමිකරුවෝ පෙන්වා දුන්හ.

අතීතයේ සිට සෑම රාජ්‍ය නායකයෙකුම වෙහෙර විහාරස්ථාන සඳහා අලි ඇතුන් පූජා කර තිබුණු අතර මියන්මාරය, බුරුමය, තායිලන්තය වැනි රටවලින්ද රාජ්‍ය තාන්ත්‍රික පදනමින් විහාරස්ථාන සඳහා අලි ඇතුන් තෑගි කිරීම සම්ප්‍රදායයක්ව පැවතුණු බව මෙහිදී මහා සංඝරත්නය සඳහන් කළහ.

අලි ඇතුන් නඩත්තුව සහ රැකබලා ගැනීම මනාව කළයුතු බවත් ඔවුන් මියගිය පසු පාංශකූලය දීම, පින් අනුමෝදන් කිරීම වැනි සම්ප්‍රදායන් වර්තමානය දක්වාම පවතින බවත් උන්වහන්සේලා පෙන්වා දුන්හ.

පෙරහැර කලාව සහ සංස්කෘතිය වෙනුවෙන් හීලෑ අලි ඇතුන් ගහණයක් රටට අවශ්‍ය බව තමා ද දැඩි සේ විශ්වාස කරන බව ජනධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළේය.

හීලෑ අලි ඇතුන් නියාමනය සහ සංරක්ෂණය පිළිබඳ කොන්දේසී සැකසීමේදී හිමිකරුවන් සමඟද සාකච්ඡා කරන්නැයි ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දී ඇත.

මෙම අවස්ථාවට මහා සංඝරත්නය සහ හීලෑ අලි ඇතුන් අයිතිකරුවන්ගේ සංවිධානයේ නියෝජිතයෝ සහභාගී වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.