අන්තවාදී ඉස්‌ලාමීය පොත් මෙරටට ගෙන්වීම තහනම් කරයි

ඉන්දික ශ්‍රී අරවින්ද

මැදපෙරදිග රටවල සිට අන්තවාදී ඉස්ලාමීය ග‍්‍රන්ථ මෙරටට ආනයනය කිරීම රජය විසින් තහනම් කර ඇත.

මේ හැර ආනයනය කරනු ලබන සියලූම ඉස්ලාමීය ආගමික ග‍්‍රන්ථ ආරක්‍ෂක අමාත්‍යාංශයේ අධීක්‍ෂණයට යොමුකරන ලෙස ආරක්‍ෂක ලේකම් කමල් ගුණරත්න මහතා රේගුවට නියෝග කර තිබේ.

මෙයට පෙර අන්තවාදී ඉස්ලාමීය ආගමික ග‍්‍රන්ථ සීමාවක් නොමැතිව මෙරටට ගෙන්වා මද්‍රසා යන ආරූඪ පාසල්වලට බෙදාහැර තිබේ.

මෙම අන්තවාදී ඉස්ලාමීය ග්‍රන්ථ ආනයනය කිරීමට ඇතැම් මුස්ලිම් දේශපාලකයන්ගේ සහයාද ලැබී ඇතැයි ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවැසීය.

පාකිස්තානය කටාර් සහ සෞදි අරාබියාව යන රටවලින් මෙම අන්තවාදී ඉස්ලාමීය ග‍්‍රන්ථ මෙරටට ගෙන්වා තිබේ.

එක්තරා ඉස්ලාමීය ග්‍රන්ථ ආනයනයකරවෙකු පසුගිය මාසයේදී මෙරට ආගමික සංහිඳියාවට බාධා කරන සලාෆි සහ වහාබ් අන්තවාදී මතය ව්‍යාප්ත කෙරෙන ග්‍රන්ථ 4ක් ගෙන්වා ඇති බව අනාවරණය වීමෙන් අනතුරුව ආරක්ෂක අමාත්‍යංශය මෙම තීරණය ගෙන තිබේ.

මේ වනවිට රේගුවේ සියලුම අංශ වෙත සහ ඉස්ලාමීය ආගමික කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවටත්,බුද්ධ ශාසන සහ ආගමික කටයුතු පිළිබඳ අමාත්‍යංශයටත් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය විසින් අදාල උපදෙස් ලබා දී ඇත.

මෙම නියෝගය පසුගිය (05) වැනිදා සිට ක්‍රියාත්මක බව රේගුව පවසයි.

මේ අතර මද්‍රසා පාසල් පිළිබඳ පාස්කු කොමිසම දුන් නිර්දේශ වහාම ක්‍රියාත්මක කරන අතර එම නිර්දේශ ක්‍රියාත්මක කිරීම රජයේ වගකීමක් බවද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සභාපති, අධ්‍යාපන ඇමැති, ජී.එල්. පීරිස් මහතා පවසයි.

පාසල්වල උගන්වන්නේ මොනවාද ඒවායේ හර පද්ධතීන් කෙබඳුද යන්න සොයා බැලීමට රජයට වගකීමක් ඇති බවද පෙන්වා දුන්නේය.

අධ්‍යාපනය ආරක්ෂාව ඇතුළු සෑම ක්ෂේත්‍රයක් සම්බන්ධයෙන්ම පාස්කු කොමිසම් වාර්තාවේ කරුණු ඇතුළත් හෙයින් එය විවේචනය කිරීමට පෙර එම වාර්තාව හොඳින් කියවා බලන ලෙසද ඇමැතිවරයා ඉල්ලා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.