විමලා අම්මා ගැන අවසන් සටහන්

ශ්‍රී ලාංකීය සංගීත ලෝකයේ අමරණීය නාමය වූ අභවප්‍රාප්ත ආචාර්ය පණ්ඩිත් W.D.අමරදේවයන්ගේ ආදරණීය බිරිද විමලා අමරදේව මහත්මිය ඊයේ දින අභවප්‍රාප්ත විය.

ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්වූ ඇය මියයන විට අසූ හයවෙනි වියේ පසුවිය.
ප්‍රවීණ සංගීතවේදී දයාන් විතාරණ මෙලෙස සංවේදී සටහනක් තබා තිබිණි.

සදාදරණීය මහා ගාන්ධර්ව, පණ්ඩිත් අමරදේවයන්ගේ ආදරණීය සංසාර පතිනිය වූ විමලා අම්මා ඊයේ දින අපෙන් සමුගෙන දිවි සැරිය නිමා කළ අතර අද දින විමලා අම්මාගේ නිසල දේහය අවසන් බුහුමන් දැක්වීම වෙනුවෙන් මා ජයරත්න Respect Home වෙත පියනැගුවෙමි.

මවිසින් ගත් විමලා අම්මාගේ ඡායාරූපයක් විශාලනය කොට මා එහි ගෙන ගිය අතර රංජන, ප්‍රියංවදා මෙන්ම සුභානි ද එම පින්තූරය බෙහෙවින් අගය කළාය. මට ම එම පින්තූරය නිසල දේහය අසල තබා මල් දම පැළැන්ඳීමට ද ඔවුන් විසින්ම ඉඩහසර වෙන් කළ අතර එය මහත් ගෞරවයක් සේ ම, විමලා අම්මා මගේම මෑණියන් තරමටම මට හෘදයාංගම වූ නිසා මහත් සංවේගයට පත්ව සිටි අවස්ථාවකි.

විශේෂයෙන්ම එම පින්තූරය විශාලණය කොට රාමු කර සකසා දුන් සේයා කලර් අධිපති අතුල ඩයස් හිතවතාණන් සහ කලට වේලාවට සමන් පිච්ච මාලය ලබා දුන් අප ඔස්කා සංවිධායේ අධ්‍යක්ෂ තිලක් හේවා කපුගේටද මගේ ගෞරවණීය ප්‍රණාමය පුද කර සිටින්නෙමි.

ආදරණීය විමලා අම්මේ, මතු මතුත් අමරදේවයන්ටම යුග යුග සෙනෙහැති පතිනිය වී උපදිමින් මේ සසර ගමන ඉක්මණින් නිමා කරන්නට ඔබට පිංපෙත් පමුණුවමි !!!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.