සමාජ මාධ්‍ය තුල කාන්තා ප්‍රතිරූපයට හානි කරන්නන්ට ක්‍රියාමාර්ග

විවිධ සමාජ මාධ්‍ය භාවිතා කරමින් කාන්තා ප්‍රතිරූපයට හානි කරන අයවලුන්ට එරෙහිව සහ එවැනි ගැටළු වලින් පීඩාවට පත්වී සිටින කාන්තාවන්ගේ ගැටලු සඳහා කඩිනමින් පිලියම් යෙදීමට රජයක් ලෙස ක්‍රියාකරන බව ආරක්‍ෂක ලේකම් සහ රාජ්‍ය ආරක්‍ෂක හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) ප්‍රකාශ කරන ලදී.

විවිධ ක්ෂේත්‍ර වල රැකියාවන්වල නියැලෙන කාන්තාවන්ගෙන් සිදුවන සේවය පිලිබඳ සිහිපත් කරමින් ආරක්‍ෂක ලේකම් විදෙස් රටවල ‌සේවය කරන කාන්තා ශ්‍රමිකයින්ගෙන් රටේ ආර්ථිකයට දක්වන සුවිශාල දායකත්වය පිලිබඳ අවධාරණය කළේය.

එපමණක් නොව ජාතික ආරක්‍ෂාව සහ සමාජ ආරක්‍ෂාව ශක්තිමත් කිරීම සඳහා කාන්තාව දක්වන දායකත්වය පිළිබඳවද සිහිපත් කළේය.

ශ්‍රී ලාංකීය වීර කාන්තාවන්ගේ උදාර සේවය ඇගයීම සඳහා Team Hero විසින් කොළඹ ලක්‍ෂමන් කදිරගාමර් ආයතනයේ දී අද (මාර්තු 07) දින සංවිධානය කරන ලද උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස රැස්ව සිටි පිරිස අමතමින් ආරක්‍ෂක ලේකම් මේ බව පැවසීය.

Team Hero  සමග අත්වැල් බැඳගනිමින් කාන්තා කළමනාකරණ ආයතනය ජාතික ලොතරැයි මණ්ඩලයේ අනුග්‍රාහකත්වයෙන් “අභිමන්ලිය” වැඩසටහන පවත්වන ලද අතර විවිධ ක්ෂේත්‍රවල ප්‍රවීණ කාන්තා විද්වතුන් මෙම උත්සවයට සහභාගී විය.

ශ්‍රී ලාංකීය වීර දියණියන්ට උපහාර පිණිස නිර්මාණය කරන ලද “අභිමන්ලිය” ගීතය එළිදැක්වීම මෙහිදී සිදුවිය.

මෙම ගීතයේ පද රචනය සංගීතය හා ගායනය සිදුකල තරුණ ශිල්පීන් දෙදෙනාට ආරක්‍ෂක ලේකම් සිය කෘතඥතාවය පළකළේය.

“අභිමන්සල” රණවිරු සුවතා නිකේතනයේ සිටින රණවිරුවන් ඇතුළු අබාධිත රණවිරුවන්ගේ මවුවරුන් සහ බිරින්දෑවරුගේ අතිමහත් කැපවීම පිලිබඳ ව ජෙනරාල් ගුණරත්න මහතා මෙහිදී සඳහන් කළේය.

“යුධ සමයේ දී රණවිරුවන්ගේ මව්වරුන් සහ බිරින්දෑවරුන් විඳි අපහසුතා සහ  ආතතිය විඳදරාගැනීම පිළිබඳ මුළුමහත් ජාතියේ ප්‍රණාමය ඔවුන්ට හිමිවන බව නිසැකයි” යනුවෙන් ඔහු තවදුරටත් පැවසීය.

ත්‍රිවිධ හමුදා, පොලීසිය, වෛද්‍ය, ව්‍යාපාරික, පරිපාලන, කළා, සාහිත්‍ය සහ ක්‍රීඩා ආදී ක්ෂේත්‍ර වලින් දැයට විශාල සේවයක් සිදුකල අභිමන්ලියන් වෙත සමරු ඵලක ප්‍රධානය කිරීම මෙහිදී සිදුකෙරිණි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.