නාමල් නිසා ගුවන් යානය විනාඩි 45ක් ප්‍රමාද වෙයි

ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විදේශ ගත වීම සදහා කටුනායක ගුවන් තොටුපළ වෙත ඊයේ (07) උදෑසන පැමිණි විට ඔහුට එරෙහිව අධිකරණය විසින් පනවා තිබූ ගුවන් ගමන් තහනම් නියෝගයක් ඉවත් කිරීම පිළිබඳ තොරතුරු ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත නොලැබී තිබීම නිසා, ඔහු ගමන් ගැනීමට නියමිතව තිබූ ගුවන් යානය පිටත්වීම විනාඩි 45 කින් පමණ ප්‍රමාද කිරීමට සිදුවූ බව කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තුව සදහන් කළේය.

ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා, රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක සහ තවත් 07 දෙනෙකු සමග ඊයේ උදෑසන 10.00 ට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.-651 දරන ගුවන් යානයෙන් ඩුබායි බලා පිටත්ව යෑමට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇත.

කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නාමල් රාජපක්ෂ මහතා වෙත විදේශ ගුවන් ගමන් තහනම් නියෝග 02 ක් පනවා තිබිණ.

ඉන් එකක් ඉකුත් 04 වැනිදා ඉවත් කර තිබූ අතර අනෙක් නියෝගයද එදිනම ඉවත් කළද, ඒ බව තැපැල් මගින් කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත දැනුම් දීමට එම අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා පියවර ගෙන තිබුණි.

ඒ අතරතුර නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා ඊයේ (07) විදේශ ගත වීම සදහා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

ඒ වනවිටත් මෙම අධිකරණ නියෝගය අහෝසි කළ බවට වූ නියෝගය කටුනායක ගුවන් තොටුපළ වෙත ලැබී නොතිබුණි.

ඒ අනුව නාමල් රාජපක්ෂ මහතාට විදේශ ගත වීමට අවසර දීමට කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් ප්‍රතික්ෂේප කර තිබේ.

පසුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා මෙම විදේශ ගුවන් ගමන් තහනම ඉවත් කළ බවට කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත දැනුම් දීමෙන් පසුව, නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා ඇතුළු පිරිස රැගත් එමිරේට්ස් ගුවන් යානය උදෑසන 10.45 ට කටුනායක ගුවන් තොටුපළෙන් ඩුබායි බලා පිටත්ව ගියේය.

යහපාලන සමයේ දී ඔහුට එරෙහිව නඩු ක්‍රියාමාර්ගයක් පැවති අවස්ථාවේදී ඔහුගේ විදෙස් ගමන් අත්හිටුවා තිබිණ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරමින් අයථා ලෙස උපයාගත් රුපියල් මිලියන 15 ක මුදලක් එන් ආර්. කන්සල්ටන්සි නැමති සමාගමක ආයෝජනය කිරීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු සැකකරුවන් සිව් දෙනකු වෙත අධිකරණය විසින් පණවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය පසුගිය වසරේ දී නියෝග කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.