සංචාරක හෝටල් සදහා රජය විසින් විදුලි ගාස්තු සහනයක් ලබා දී තිබුනද විදුලිය විසංදී කිරීමට විදුලි බල මණ්ඩලයේ ඇතැම් ප්‍රාදේශීය කාර්යාල කටයුතු කරන බවට පැමිණිලි ලැබී ඇති බැවින් එම විදුලිය විසංදි කිරීම් අත්හිටුවන්නැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා විෂය භාර අමාත්‍යවරයාට දැනුම් දී ඇත.
විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සහ විදුලිබල මණ්ඩලයේ සභාපති විජිත හේරත් මහතා වෙත ඇමතිවරයා මෙම ඉල්ලීම ඉදිරිපත් කර තිබේ.
කොවිඩ් වසංගතය හේතුවෙන් පීඩාවට පත්ව සිටින සංචාරක සංවර්ධණ අධිකාරියේ ලියාපදිංචි හෝටල් සදහා ජල හා විදුලි ගාස්තු සහන ලබාදීමට පසුගිය වසරේ මැයි මස 29 වනදා ඇමති මණ්ඩල සංදේශයක් මගින් අනුමැතිය ද හිමිව තිබුණි.
එමගින් තීරණය කර තිබුනේ කොවිඩ් වසංගතය පැවති කාලය තුළ විදුලිය බිල් පත් ගෙවීම වසරක කාලයකට අත් හිටුවා ඒ සදහා සහන කාලයක් ලබා දීමටයි.
පසුව එය නැවත තවත් මාස 06 ක කාලයක් සදහා දීර්ඝ කරනු ලැබූ අතර එය තවදුරටත් දීර්ඝ කිරීම පිළිබදව රජයේ අවධානය මේ වන විට යොමුව තිබේ.
එසේ තිබියදී ඇතැම් ප්‍රදේශ වල විදුලි බල මණ්ඩලයේ ප්‍රාදේශිය කාර්යාල මගින් එම හෝටල්වල විදුලිය විසංධි කිරීමට පියවර ගෙන ඇති බවට පැමිණිලි රැසක් තමන්ට ලැබී ඇතැයි ද අමාත්‍යවරයා සදහන් කරයි.
මීට අමතරව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ සූර්ය බළශක්තිය සපයා ගැනීම සදහා වූ වැඩසටහන හෝටල් ක්ෂේත්රයටද ලබාදීමට කටයුතු යොදා තිබෙන අතර එමගින් සංචාරක ක්ෂේත්රයේ නියුතු අයට සහන සැලසෙන බවද ඇමතිවරයා පෙන්වා දෙයි.