කොවිඩ් මරණ භූමදානය සතියකින් කල් යයි

ඉන්දික ශ්‍රී අරවින්ද

කොවිඩ් -19 වෛරසය ආසාදනය වීමෙන් ජිවිතක්ෂයට පත්වු පුද්ගලයින්ගේ සිරුරූ භූමදානය සිදුකිරීමට හැකි ස්ථානයක් සොයා ගත යුතු බවත් ඊට අදාළ මාර්ගෝපදේශ නිකුත් කිරීම සිදුකළ හැකිවන්නේ ඉන් පසුව බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.

කොවිඩ් ආසාදිතව මියගිය පුද්ගලයින්ගේ මල සිරුරූ භූමදානය සිදුකරන්න අවශ්‍ය භූමියක් සොයාගැනීම මෙන්ම එම ස්ථානයේ භුමියේ ජල මට්ටම ගැන වාර්තාවක් කැඳවන්න අවශ්‍ය වෙන බව ඔහු පවසයි.

කොවිඩ් ආසාදිත මරණ භූමදානය සඳහා සුදුසු ස්ථානයක් සොයා ගෙන ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරිය සහ අමාත්‍යාංශයේ ලේකම්වරයාට දැනුම් දීම සිදු කර ඒ සඳහා අනුමැතිය ලබා ගත යුතුය.

සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් එම ස්ථානය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වෙන කොවිඩ් මර්ධන කමිටුවට යොමු කරලා අවශ්‍ය අවසරය ගැනීම සිදුවෙයි.

මෙය ඉතා ඉක්මනින් කරන්න බලාපොරොත්තු වන අතර කාට හරි අවශ්‍ය වෙනවා නම් මරණ භූමදානය කරන්න ඕනෑමයි කියලා මේ සියල්ල සිදුකරනකම් ශිතාගරවල මරණ තැම්පත් කරලා තියාගන්න අවශ්‍ය වෙයි.

මාර්ගෝපදේශ නිකුත් වනතෙක් කොරෝනා මරණ භූමදානයට අවස්ථාව නැහැ” යැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ප්‍රකාශ කර සිටියා.

කොවිඩ් වෛරසය ආසාදනය වීමෙන් මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ සිරුරු භූමදානය කිරීමට රජය අවසර දුන් නමුත් එය ක්‍රියාත්මක කිරීම සඳහා තවත් සතියක් පමණ යන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රකාශකයෙක් Colombo Gazette වෙත පැවසීය.

එම සිරුරු භූමාදානයට අවසර දෙන බවට නිර්දේශිත ගැසට් පත්‍රය ඊයේ (25 වැනිදා) රාත්‍රියේ ප්‍රකාශයට පත්කළ නමුත් ඊට අදාළ කොන්දේසි මෙන්ම රෙගුලාසි මේ වන තුරුත් නියම කර නොතිබීම ඊට හේතුව බවද එම ප්‍රකාශකයා පැවසීය.

මේ සම්බන්ධයෙන් අවශ්‍ය නිර්දේශ, කොන්දේසි සහ රෙගුලාසි මොනවාද යන්න සාකච්ඡා කර තීරණයක් ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශ නිලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් හෙට (27 වැනිදා) පැවැත්වීමට නියමිතය.

ඒ සම්බන්ධ නිර්දේශ, කොන්දේසි සහ රෙගුලාසි ලබන සතියේ මුල ප්‍රසිද්ධ කිරීමට නියමිතය.

එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේ කොවිඩ් ආසාදිත සිරුරු භූමදානය කරන්නේ නම් ඒ සඳහා ජන ශූන්‍ය ප්‍රදේශයක් තෝරාගෙන, රජයේ සෞඛ්‍ය බලධාරීන්ගේ අධීක්‍ෂණය ඇතිව, සිරුරු භූමදානය කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන්ගේ අවධානය යොමු වී ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.